Gossips

නාමික ඡන්දයකට සූදානම් වෙන්න – ජනපති

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කර ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදුකරන ලෙස, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දී තිබෙනවා.
එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් අතර ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
පැය දෙකක පමණ කාලයක් පුරා මෙම සාකච්ඡාව පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව ප්‍රකාශ කළ එම පක්ෂ නායකයින් එය පිළිගන්නා ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ තමන් සෑම විටම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බව සහ ඊට ගරු කරන බවයි.
ඒ අනුව පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කර නාමික ඡන්ද විමසීමක් පවත්වා බහුතරය නිසි අයුරින් පෙන්වන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවෙහි අංක එක වගන්තිය වූයේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ ඔක්තෝම්බර් මස 26 වැනි දින අංක 2094/43, 2094/43 ඒ සහ 2094/44 දරන අතිවිශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන්, පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින්, නීතිය ඉදිරියේ ශුන්‍ය සහ බලරහිත බව මෙන්ම, ඊට කිසිදු බලයක් හෝ වලංගුභාවයක් නොමැති බවයි.
ජනාධිපතිවරයා 2094/43 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබුණේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ තමන් වෙත පැවරී ඇති බලතල අනුව එම ධූරයෙන් ඉවත් කරන බවයි.
එමෙන්ම, 2094/43 ඒ අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දුන්නේ තමන් වෙත පැවරී ඇති බලතල අනුව අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර ඇති බවයි.
මීට අමතරව ජනාධිපතිවරයා 2094/44 යන ගැසට් පත්‍රයෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ බව දැනුම් දුන්නා.
ඒ අනුව එම කරුණු සලකා බලා පාර්ලිමේන්තුව තුළ සාමය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙස තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා ඊයේ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ.