Gossips

හමුදාවේ 12ක් ඇතුළු 19කට තුවාලකරමින් දියතලාවේදී බස් රථයක් තුල පුපුරා ගිය දේ ?

දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක පිපිරීමකින් පසු සිදුවූ ගිනි ගැනීමට හේතුව බෑගයක තිබූ අත්බෝම්බයක් පුපුරා යාම බව මූලික පරික්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
කෙසේ වෙතත්, එය නිශ්චිතව සනාථ කළ හැක්කේ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබීමෙන් පසුව බවයි උසස් පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.
අද අලුයම 5 යි 45 ට පමණ දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක හදිසි ගින්නක් ඇති වුණා.
පිපිරීමක් ඇතිවීමෙන් පසුව මෙම ගින්න හට ගත් බවටයි වාර්තා වුණේ.
ඊයේ රාත්‍රියේ යාපනයෙන් පිටත් වූ බස් රථයක් අද අළුයම බණ්ඩාරවෙල නගරයට පැමිණ තිබෙනවා.
පසුව එහි සිටි මගීන් දියතලාව දක්වා ධාවනය වන මෙම බස් රථයට නැග ඇති බව සඳහන්.
මෙම බස් රථය දියතලාව – කහගොල්ල ප්‍රදේශය පසුකරනවාත් සමඟම එහි පිපිරීයාමක් සිදුවී ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධියෙන් පසු අදාළ පුද්ගලික බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.
එහෙත් ප්‍රදේශවාසීන් සහ අනෙකුත් පිරිස් වහා ක්‍රියාත්මක වී මගීන් බේරා ගැනීමට කටයුතු කර ඇති බවයි දියතලාව පොලීසිය ප්‍රකාශ කළේ.
පිපිරීමත් සමඟ ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලැබූ අතර යුද හමුදා සාමජිකයන් 7 දෙනෙකු, ගුවන් හමුදා සාමාජිකයන් 5 දෙනෙකු සහ සිවිල් වැසියන් 7 දෙනෙකු ඒ අතර වනවා.
තුවාල යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර එක් අයෙකුට ශල්‍යකර්මයක් සිදුකර පාදයෙන් කොටසක් ඉවත් කර බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව සහ පොලීසිය එක්ව මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළේ.