Gossips

update :-පාර්ලිමේන්තුව හෙට යළි රැස්වෙයි

හෙට පස්වරු 1.30ට යළි පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරි තත්ත්වයෙන් පසුව පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මින් පෙර සදහන් වූයේ එළඹෙන 21 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තබා ඇති බවයි.
2018-11-15 (01.07pm)
………………………………..
පාර්ලිමේන්තුව කල්තබයි
පාර්ලිමේන්තුවේ අද ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග ලබන 21 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයා පියවර ගෙන තිබෙනවා.
මෙලෙස පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගනු ලැබුවේ ආණ්ඩු පකෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක අසුන ආසන්නයට පැමිණ දැඩි විරෝධයක් එල්ල කිරීමත් සමගයි.
අද පෙරවරු 10ට පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වූ අතර එහිදී කතානායකවරයා සදහන් කළේ ඊයේ ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව පරාජයට පත්වී ඇති නිසා, අග්‍රාමාත්‍ය ධුරය හෝ වෙනත් අමාත්‍ය ධුර වලංගු නොවන බවයි. අද සභා ගර්භයේ සිටින සියලූදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් බව ද ඔහු කියා සිටියා.
එම අවස්ථාවේ සිට පාර්ලිමේන්තුව තුල දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් පැවති අතර එම තත්ත්වය මධ්‍යයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය විශේෂ ප්‍රකාශය සිදු කිරීම ආරම්භ කරනු ලැබුවා.
අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශයෙන් කියා සිටියේ පාර්ලිමේන්තුවේ පවතින අර්බුදය විසදීම ජනතාවට භාරදිය යුතු බවයි.
අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසු නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති හෙයින් ඡන්ද විමසීමක් අවශ්‍ය වන බවයි.
එහිදී කතානායකවරයා කියා සිටියේ අදාළ තීරණය තමන් විසින් නොගන්නා අතර එය සභාවට භාර දෙන බවයි.
එම තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව යලි උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගේ ආසනය අසලට පැමිණ සිය විරෝධය පළ කර අතර එම තත්ත්වයත් සමඟ කතානායකවරයාගේ ආරක්ෂාව සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් ඔහු වටා රොක්වෙමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එම ස්ථානයට පැමිණීම වලක්වනු ලැබුවා.
එම අවස්ථාව වනවිට සෙන්කෝලය වේත්‍රධාරීවරයා අත පැවති අතර ඔහු අසල නියෝජ්‍ය වේත්‍රධාරීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය රැස්ව සිටියා.
අඛන්ඩව පැවති උණුසුම්කාරී තත්ත්වය මධ්‍යයේ සභාව මැදට පැමිණි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ගුටි බැට හුවමාරුවක ද නිරත වූ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම මුලසුනේ පැවති මයික්‍රෆෝනයක් කඩා ඉවත් කිරීමට උත්සහ කිරීම නිසා ඔහුගේ අත තුවාල වූ අතර තවත් මන්ත්‍රීවරු පිරිසක් ඔහු සභාවෙන් පිටතට රැගෙන ගියා.
එමෙන්ම තවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු කතානායකවරයාගේ අසුනට වතුර වත් කිරීමේ සිද්ධියත් ද අද දක්නට ලැබීම තවත් විශේෂත්වයක්.
මේ වනවිටත් පාර්ලිමේන්තු සභා ගර්භයේ මන්ත්‍රීවරුන් රැදී සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.