Gossips

ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට කැපවන්නැයි ජනපති නිලධාරීන්ට කියයි

ජනාධිපති කාර්යාලය යටතේ පවත්වාගෙන යන ජනාධිපති කාර්ය සාධන බළකායන්හි ක්‍රියාකාරිත්වය සහ විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබද සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්වුනා.
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන, එල්ලංගා වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන, ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන, කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් මෙන්ම ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය මෙහි දී සාකච්ඡාවට ලක්වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
දිළිදුකම පිටුදැකීමේ රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මේ වන විට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන අතර වැඩසටහනේ ක්‍රියාකාරිත්වය පිළිබද තවදුරටත් පුළුල් දැනුමක් ප්‍රාදේශීය රාජ්‍ය නිලදාරින්ට ලබා දීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී තිබෙනවා.
ග්‍රාමීය ප්‍රජාව ඵලදායී ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියකට යොමු කරමින් ග්‍රාමනිලධාරි වසම් මට්ටමින් පිහිටුවා ඇති ග්‍රාමශක්ති නිෂ්පාදන සමිති සදහා ලබා දෙන ප්‍රතිපාදන ශක්තිමත් කරන ලෙසටයි මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
2020 වසර වන විට ශ්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සදහා ග්‍රාමශක්ති ජනතා වැඩසටහන යටතේ ගෙන යන වැඩපිළිවෙළට අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක පාසල් දරුවන්ට කිරි විදුරුවක් ලබා දීමේ වැඩසටහන ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනේ ක්‍රියාකාරිත්වය පිළිබදව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු අතර ඒ යටතේ ක්‍රියාත්මක පැළ සිටුවීමේ ජාතික වැඩසටහන්වල ප්‍රගතිය ද සමාලෝචනයට ලක් කෙරුනා.
එමෙන්ම දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන් පිළිබදව ද අවධානය යොමු වු අතර වැසි සමය සහිත මෙම කාලය එම වගාකටයුතු ප්‍රවර්ධනය සදහා ඉතා උචිත බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
වගා කටයුතු සදහා ගොවි ජනතාවට නොමිලේ බීජ ලබාදීමේ වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට ද ඔහු උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එල්ලංගා වාරි ප්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත වැඩසටහනේ ප්‍රගතිය ද සාකච්ඡාවට ලක්වුනා.
එහිදී ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් වැව් හෑරීමේ කටයුතු තාවකාලිකව ඇණ හිට තිබුණ ද රොන්මඩ ඉවත් කරමින් වැව් සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාවට නංවන ලෙසටයි.
වසර 2030 සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා සැකසෙන ජාතික තිරසර කතිකාවේ මෙතෙක් ප්‍රගතිය සහ පිබිදෙමු පොළෙන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය ද සමාලෝචනයට ලක් කෙරුනා.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ ජනතා සිතුම් පැතුම් හඳුනාගෙන ඔවුන්ගේ ප්‍රමුඛ ගැටලූවලට විසදුම් ලබාදීමේ හා ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම සියලූ සංවර්ධන වැඩසටහන් නිසි අන්දමින් මෙහෙයවමින් එහි කඩිනම් ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කැපවීම සියලූ නිලධාරින්ගේ වගකීම බවයි.