Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

දෙසැම්බර් 07 වනදා දක්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ, ඊට අදාළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.
එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මෙම පෙත්සම් ගොනුකර තිබුණා.
ඒ අනුව පෙත්සම් දෙසැම්බර් මස 4, 5, 6 යන දිනවලදී විභාග කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ.
එමෙන්ම දෙසැම්බර් මස 7 වනදා දක්වා මහ මැතිවරණයට අදාළ පියවර නොගන්නා ලෙසට මැතිවරණ කොමිසමට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද උදෑසන දෙවන දිනටත් පෙත්සම් විභාගය ආරම්භ වූ අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් සිය මතය ඉදිරිපත් කරමින් නීතිපති ජයන්ත ජයසූරිය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති විධායක බලතලවලට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතු බලතල දැක්වෙන 33 – 2 ඇ වගන්තිය යටතේ එම කටයුතු සිදුකර ඇති බව ප්‍රකාශ කළ නීතිපතිවරයා අදාළ වගන්තිය 70 – 2 වගන්තිය සමඟ කියවීම අවශ්‍ය නොවන බව සඳහන් කළා. එමෙන්ම 33 – 2 ඇ වගන්තිය විසින් ජනාධිපතිවරයාට ලැබෙන බලතල ක්‍රියාත්මක වීමට 70 – 1 වගන්තියෙන් සීමා පනවා නොමැති බවයි නීතිපතිවරයා කියා සිටියේ.
මෙහිදී පෙත්සම් විභාගය සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිවරයාගේ උපදෙස්ද සැළකිල්ලට ගත් බවද නීතිපතිවරයා කියා සිටියා.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ව්‍යවස්ථානුකූලව සිදුකර ඇති නිසා එම තීරණයට එරෙහිව ඉදිරිපත් කර ඇති සියලූම මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ.
අද දිනයේ ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරමින් අතරමැදි පෙත්සම් 17 ක් ගොනු කර තිබූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, නීතීඥ ප්‍රේමනාත් සී. දොළවත්ත, මහාචාර්ය චන්න ජයසුමන ද එලෙස අතරමැදි පෙත්සම් ගොනුකර තිබුණා.
නීතිපතිවරයාගේ කරුණු දැක්වීමෙන් පසුව අතරමැදි පෙත්සම්කරුවන්ගේ නීතීඥවරුන් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා.
අනතුරුව පෙත්සම්කරුවන්ගේ නීතීඥවරුන්ට නැවත දේශන පැවැත්වීම සඳහා අවස්ථාව හිමිවූ අතර, පස්වරු 3.45 ට පමණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ පෙත්සම් සම්බන්ධයෙන් සිය තීරණය පස්වරු පහට ප්‍රකාශයට පත්කරන බවයි.
මෙම පෙත්සම් සළකා බැලීම හේතුවෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කර තිබූ අතර, දේශපාලන පක්ෂවල ආධාරකරුවන්ද අධිකරණ පරිශ්‍රයේ රැස්ව සිටියා.
ඒ අතර සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට මාර්ගයේ විරෝධතාවක නිරත වූ අතර, ඊට එරෙහිව පසුව තවත් පිරිසක් විරෝධය පළ කළා.