Gossips

ජනපති ව්‍යාපාරිකයන් අගයයි

මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ඨ කාර්ය සාධකයක් දක්වන සමාගම් ඇගයීමේ බිස්නස් ටුඩේ 2018 ව්‍යාපාරික සම්මාන උළෙල ඊයේ කොළඹ දී පැවැත්වුණා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
මෙම උළෙලේදී ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ඨත්වයක් පෙන්නුම් කළ ව්‍යාපාරික සමාගම් 30 ක් ඇගයීමට ලක් කරමින් සම්මාන ප්‍රදානය කෙරුණේ ජනාධිපතිවරයා අතින්.
ඊට හුණුපිටිය ගංඟාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ද එක්ව සිටියා.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ හදිසියේම මධ්‍යම පරිසර අධිකාරිය වෙත ගොස් තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ එහිදී ජනාධිපතිවරයා විසින් එහි අභ්‍යන්තර ක්‍රියාවලිය සහ මූල්‍ය අංශයේ කටයුතු අධීක්ෂණය කළ බවයි.
පවතින දේශපාලන වාතාවරණය බාධාවක් කර නොගෙන අපේක්ෂිත වාර්ෂික ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා සැලසුම් සහගතව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී එහි නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඩම් අමාත්‍යාංශය වෙත ගොස්, එහි ක්‍රියාකාරීත්වය සොයා බලා ඇති බව සඳහන්.
එහිදී ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉඩම් දීමනා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය ජනාධිපතිවරයා විමසා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
එම කටයුතු විධිමත්ව සහ කඩිනම් කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, ලබන වසරේදී ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා නිලධාරීන්ට පෙන්වා දී ඇති බව සඳහන්.