Gossips

මුහුදු ප්‍රදේශ කිහිපයක ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින්නැයි දැනුම්දීමක්

ඉදිරි පැය 48 ක කාලය තුල අන්දමන් මුහුදු ප්‍රදේශයේ සහ හෙට සිට ලබන 13 වනදා දක්වා මධ්‍යම සහ ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුද යාබද මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙනවා.
නිරිතදිග සහ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට යාබද මුහුදු ප්‍රදේශවල ලබන 13 වනදා සිට ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමෙන් වලකින ලෙසටයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියාසිටියේ.
අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වී පවතිනවා.
එය ඉදිරි පැය 24 ක කාලය තුලදී තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.
හෙට (11) සවස හෝ රාත්‍රී කාලයේදී මෙම පද්ධතිය සුළි කුණාටුවක් බවට වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
අන්දමන් දුපත්වල සහ උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශය, ගිනිකොණ දිග සහ නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට යාබද මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 45 ක් 55 ක් පමණ වන අතර එය විටින් විට පැයට කිලෝමීටර් 65 ක් දක්වා වැඩි විය හැකියි.
එය හෙට සිට පැයට කිලෝමීටර් 65 ක් 75 ක් දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා.
අනිද්දා 12 සවස් කාලයේ සිට බටහිර මධ්‍යම සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට යාබද මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 90 ක් 100 ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 110 දක්වා ක්‍රමයෙන් වැඩිවිය හැකියි.
අද (10) සහ හෙට දිනවලදී උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශය ගිණිකොනදින සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට යාබද මුහුදු ප්‍රදේශ රලු ස්වභාවයේ සිට ඉතා රලු ස්වභාවයක් ගත හැකියි.
අනිද්දා 12 සිට දකුණු බටහිර සහ නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට යාබද මුහුදු ප්‍රදේශ ද රලු විය හැකියි.
බටහිර, මධ්‍යම හා නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට යාබද මුහුදු ප්‍රදේශ 13 වනදා සිට ද නිරිතදිග සහ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට යාබද මුහුදු ප්‍රදේශ ලබන 14 වනදා සිට ඉතා දළ රලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියා.