Politics Sri Lanka

A/L සිසුන්ට ටැබ් දීම අත්හිටුවයි

A/L සිසුන්ට ටැබ් දීම අත්හිටුවයි

පාසල්වල අ.පො.ස. උසස් පෙළ හදාරන සිසුන්ට ටැබ් පරිගණක ලබාදිමේ වැඩසටහන කැබිනට් මණ්ඩලය විසින් ඊයේ (20) අත්හිටවා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ටැබ් පරිගණක මිලදී ගැනීම සඳහා කැඳවා ඇති ටෙන්ඩර්වල පවතින ගැටලු සහගත තත්ත්වය සහ එම වැඩසටහනට වැය කිරිමට රජයේ අරමුදල් යෙදවීම සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේ දී අදාළ යෝජනාව සාකච්ඡා වී ඇති අතර එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කරුණු 4ක් එකතු කළ බව වාර්තා වේ.

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදිම ප්‍රයෝජනවත්ද? සිසුන්ට ටැබ් පරිගණක ලබාදිම වෙනුවට නවීන පන්ති කාමර සකස් කිරිම ටෙන්ඩර් අවුල සහ රජයේ අරමුදල් ටැබ් පරිගණක මිලදී ගැනීමට වඩා අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් වැය කිරිමට තිබිම යන කාරණා ජනාධිපතිවරයා විසින් එහිදී මතු කරන ලදැයි දැනගන්නට තිබේ.

ඒ අනුව අ.පො.ස. උසස් පෙළ සිසුන් 175,000ක් සහ උසස් පෙළ ගුරුවරුන් 28,000ක් සඳහා ටැබ් පරිගණක ලබා දීමේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ වැඩපිළිවෙල අමාත්‍ය මණ්ඩලය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.

අදාළ ටැබ් පරිගණක සැපයීමේ කොන්ත්‍රාත්තුව, එකක් රුපියල් 27,000 බැගින් වූ මුදලකට Abans PLC ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි.

තාක්ෂණික දැනුමින් පෝෂිත ලාංකේය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින්, ඉගෙනුම් සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය නවීන තාක්ෂණය යොදා ගනිමින් බලගැන්වීම සඳහා 2017 අයවැය මඟින් රුපියල් මිලියන 5,000ක් වෙන් කරන ලදී.