Gossips

හෙට සිදුවන පෙරළියක් ගැන ආණ්ඩුවෙන් ඉගියක් – සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණනයක් – බන්දුල අලූත් පැකේජයක් ගෙනෙයි

අමාත්‍යාංශ කිහිපයක දිවුරුම් දුන් ඇමතිවරුන් කිහිප දෙනෙකු අද සිය අමාත්‍යාංශවලදී සිය රාජකාරී ආරම්භ කළා.
විදේශයන්ගෙන් මෙරටට ලැබෙන ආධාර පිලිබඳව කිසිදු ගැටලූවක් උද්ගත වී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළේ සිය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුවයි.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද එක්ව සිටියා.
මේ අතර, ජාත්‍යන්තර වෙළඳ සහ අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන එම අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ වැඩ භාරගත්තා.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ අතුරු අයවැයෙන් සහන පැකේජයක් ලබාදෙන බවයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාරගත් චමල් රාජපක්ෂ කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ විගනණයක් සිදුකරන බවයි.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම ඇතුළු පිරිසක් එක්ව සිටියා.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අධිකරණ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අද වැඩ භාරගත්තා.
මේ අතර, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය එස්.බී.දිසානායක පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයේදී අද වැඩ භාරගත් අතර, ඔහු කියා සිටියේ 14 වනදාට පෙර බහුතරය පෙන්වන බවයි.
එමෙන්ම, අද පෙරවරුවේ නිවාස හා සමාජ සුබ සාධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් විමල් වීරවංශද පස්වරුවේ එම අමාත්‍යාංශයේදී රාජකාරී කටයුතු ආරම්භ කළා.
අමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව නාරාහේන්පිට අභයාරාමයට පැමිණි ඔහු කියා සිටියේ හෙට දිනයේදී යම් කිසි වෙනසක් සිදුවිය හැකි බවයි.
එසේම, සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මෙන්ම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය සී.බී.රත්නායකද අද එම අමාත්‍යාංශ වලදී සිය රාජකාරී ආරම්භ කළා.