Gossips

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ගැටලූ විසදීමට කැබිනට් උප කමිටුවක්

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ මෙතෙක් නොවිසඳුනු ගැටලු විසඳීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඒ සඳහා කැබිනට් උප කමිටුවක් ද පත් කරන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පවතින ගැටලු පිළිබඳ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළා.
ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් පුරා පවතින මෙම ගැටලු විසඳීමේ දී වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට නව රජය අපේක්ෂා කරන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ.
නීති විරෝධී පතල් කැණීම් සම්බන්ධ වැටලීම් මෙන්ම ව්‍යාජ මැණික් අලෙවි කරන්නන් වැටලීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.
එමෙන්ම ගතවු වසරක කාලයක් තුල අදාළ වැටලීම් පිළිබඳ වාර්තාවක් ද ලබන සතිය වන විට තමා වෙත ලබාදෙන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල පතල් කැණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම, කුඹුරු ඉඩම් පතල් කැණීම සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති චක්‍රලේඛය, යාන්ත්‍රික පතල් කැණීම් සඳහා අවසර ලබාදීම, පතල් කැණීමෙන් පසු පතල් වසා දැමීමට පියවර නොගැනීම, මැණික් පතල් කැණීම් බලපත්‍රය ලබාගැනීම සඳහා ගතවන කාලය ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කෙරුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.