Politics Sri Lanka

පැහැරගැනීමේ නඩුවට නොපැමිණි වැල්ලම්පිටිය හිටපු OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග

පැහැරගැනීමේ නඩුවට නොපැමිණි වැල්ලම්පිටිය හිටපු OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග

මීතොටුමුල්ල කසල කන්ද අසලදී පුද්ගලයකු පැහැර ගැනීම ගැන නඩුවක සාක්ෂි ලබාදීමට අධිකරණයට නොපැමිණී වැල්ලම්පිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් සමරනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (20) වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම සිද්ධියට අදාළව අධිකරණය මගින් ඔහුට වරෙන්තු නිකුත් කරනු ලැබුවේ තෙවැනි වතාවටය.

කොළොන්නාව හිටපු නගරාධිපති රවීන්ද්‍ර උදයශාන්ත මහතාගේ සොහොයුරා වූ ජනක ප‍්‍රභාත් දොඩම්පේගම නැමැත්තා මීතොටුමුල්ල කසල කන්ද අසලදී 2012 වර්ෂයේදී පෙබරවාරි මස 03 වැනිදා නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන යන ලැදයි අභියාචනාධිකරණයේ හේබියස් කෝපුස් නඩුවක් පවරා තිබිණී.

අභියාචනාධිකරය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා හමුවට එය යොමුකර තිබූ අතර එහි සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මේ වනවිට අවිස්සාවේල්ල පොලීසියේ විශේෂ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටින මෙම පොලිස් පරීක්ෂකවරයාට එලෙස වරෙන්තු නිකුත් කර ඇත.