Gossips

පළාත් කිහිපයක් සීතල වෙද්දී, අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය සහ අහස වළාකුලින් බර ස්වභාවය, තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින හරහා විශේෂයෙන් දිවයිනේ උතුරු අර්ධය හරහා හමන පැයට කිලෝමීටර් 40ත් 50ත් දක්වා තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව අද (07) උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන්.
උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
උතුරු, නැගෙනහිර, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකයි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දෙනවා.