Gossips

වාර අවසාන කිරීම ගැන පාර්ලිමේන්තු ඉතිහාසය

එදා මෙදා තුර ශ්‍රී ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව වාර අවසන් කළ අවස්ථා 42ක් පිළිබදව තොරතුරු වාර්තා වනවා.
"1947 සිට මේ දක්වා කාලය තුල අවස්ථා 42කදී පාර්ලිමේන්තුවේ වාර අවසන් කර තිබෙනවා.
1947 වසරේ සිට 1978 දක්වා අවස්ථා 21කදී සහ 1978 සිට මේ දක්වා වාර 21කදී මෙලෙස පාර්ලිමේන්තුවේ වාර අවසන් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පළමු වාර අවසන් කිරීම 1948 ජනවාරි 31 වන දා සිදුව ඇති අතර, එහි කාලය දින 10 කට සීමා වුණා.
පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම අවස්ථා ගණනකදී වාර අවසන් කළ කාලය ලෙස සටහන් වන්නේ 1978 ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයා බවට පත්වූ ජේ.ආර්. ජයවර්ධනගේ පාලන සමයේදියි.
ඒ අනුව 1978 සිට 88 දක්වා කාලය තුළ වාර 7ක් පාර්ලිමේන්තුව අවසන් කර ඇති අතර, මාසයක් ඉක්මවා වාර අවසන් කර ඇති අවස්ථා සංඛ්‍යාව 04ක්.
අනතුරු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ නිල කාලයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අවස්ථා 4කදී වාර අවසන් කර තිබෙනවා.
මොහුගේ පාලන සමය තුල අවස්ථා 03කදී පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම මාසයකට ආසන්න කාලයක් දක්වා දිව ගියා.
එසේම, ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ නිල කාලයේදී පාර්ලිමේන්තු වාර අවසන් කළ අවස්ථා 5 ක් වාර්තා වන අතර, වැඩිම කාල පරාසයක් තුල පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇත්තේ ද ඇයගේ කාලයේයි.
2001 වසරේ ජූලි 10 වනදා සිට සැප්තැම්බර් 6 වනදා දක්වා මාසයයි දින 26 ක කාලයක් සඳහා ඇයගේ පාලන සමය තුල පාර්ලිමේන්තුව වාර අවසන් කර තිබුණා.
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල කාලයේදී පාර්ලිමේන්තු වාර අවසන් කළ අවස්ථා 3 ක් වාර්තා වන අතර, අඩුම කාල පරාසයක් සටහන් වන්නේ ද එම පාලන සමය තුලයි.
එනම්, දින දෙකක කාලයක්.
එසේම, මේ දක්වා අඩුම අවස්ථා ගණනක් පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල කාලය තුළයි.
ඒ පසුගිය අප්‍රේල් 12 වනදා සිට මැයි 8 වනදා දක්වා දින 25 ක කාලයකට සහ ඔක්තෝම්බර් 27 වනදා සිට ලබන 14 වනදා දක්වා දින 17 ක කාලයකටයි.