Gossips

රංගන හේරත්, ක්‍රිකට් පිටියට සමු දෙන ටෙස්ට් තරඟය අදයි

20 වැනි සියවස සමඟ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අවසන් සම්බන්ධතාව නිමා කරමින් ලොව දක්ෂතම වමත් දඟ පන්දු යවන්නා වූ රංගන හේරත්, ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමේ ටෙස්ට් තරඟය අද (06) ගාල්ලේ දී ඇරඹෙනවා.
දැනට පවතින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවසන් ටෙස්ට් තරඟය ලෙස ද විශ්වාස කෙරෙන මෙම තරඟය පැවැත්වෙන්නේ සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකාව අතරයි.
රංගනගේ සමු ගැනීම හේතුවෙන් අද ආරම්භවන ටෙස්ට් තරඟය බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්වන තරඟයක් බවට පත්වනු ඇති.
තරඟ තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ සමාරම්භක තරඟය වන මෙහිදී රංගන හේරත් තවත් එක් කඩුල්ලක් ලබා ගතහොත් මුරලිදරන්ට පසු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ ටෙස්ට් කඩුළු 100ක් බිඳ හෙලූ දෙවැනි ක්‍රීඩකයා බවට පත්වනවා.
මේ අතර අද තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස්, කෞෂාල් සිල්වා සහ සුරංග ලක්මාල් කැඳවනු ඇති බවටයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා සංචිතයට නම්කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර විනය කඩ කිරීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඔහු වෙනුවට දුෂ්මන්ත චමීර සංචිතයට කැඳවා තිබෙනවා.