Gossips

එජාපයෙන් ආ අශෝක ප්‍රියන්තගේ නිවසට ආරක්ෂාව

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්තගේ නාත්තන්ඩියේ පිහිටි නිවාස දෙකකට අමතර ආරක්ෂාවක් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නාත්තන්ඩිය – මරඳ ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ පස්වරුවේ බීමතින් පැමිණි පිරිසක් කළහකාරීව හැසිරීමේ සිද්ධියක් මත පදනම්ව මෙම පියවර ගෙන ඇති බවයි මාරවිල පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
නියෝජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර, නව රජයේ සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්නා.
එම ප්‍රවෘත්තිය මාධ්‍ය තුළින් ප්‍රචාරය වීමත් සමඟ යතුරුපැදිවලින් සහ මෝටර් රථයකින් පැමිණි පිරිසක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ තාත්තන්ඩිය – මරඳ ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදී විරෝධය පළ කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.
මේ අනුව එම නිවසට අමතර ආරක්ෂාවක් ලබාදෙමින් අතිරේක පොලිස් නිලධාරීන් පිරිසක් නිවසේ රාජකාරි සඳහා යෙදවීමට ඊයේ රාත්‍රියේ සිට පොලීසිය පියවර ගෙන ඇති අතර, එම ප්‍රදේශයේ අතිරේක ජංගම මුර සංචාරයක් ද යොදවා තිබෙනවා.
මීට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නාත්තන්ඩිය – වීථියබණ්ඩාර මාවතේ පිහිටි නිවසටද අමතර ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව මාරවිල පොලීසියේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.