Gossips

තිස්සමහාරාම වෙඩි තැබීමට හේතුව හෙළිවෙයි – බොල්ගොඩ පාලම අසලින් කාන්තා හිසක්

තිස්සමහාරාම ඇල්ලගල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට හේතුව පෞද්ගලික ආරවුලක් බව වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට හම්බන්තොට රෝහලේ සිට කරාපිටිය රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ රාත්‍රී 10.30 ට පමණ තිස්සමහාරාම – ඇල්ලගල ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයන් තුන්දෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
ඉන් තුවාල ලැබුවේ 21 හැවිරිදි තරුණයෙක්.
මීට මාස කිහිපයකට ඉහතදී ඇල්ලගල ප්‍රදේශයේ නිවසකට ඇතුලූවී එහි සිටි පුද්ගලයෙකුට සහ ඔහුගේ බිරිඳට පහරදීමේ සිද්ධියක් වාර්තාවුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින බවයි පොලීසිය පවසන්නේ. තිස්සමහාරාම පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස ඊයේ මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ අතර රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරගම – බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබියදී කාන්තා හිසක් හමුවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද පෙරවරු 7 ට පමණ මෙම හිස කොටස හමුවී ඇති බවයි. එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර, මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.