Gossips

මරණයකින් උණුසුම් වූ හසලක

මහියංගනය – නුවර ප්‍රධාන මාර්ගය හසලක පොලිසිය අසලින් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා.
ඒ, දින 12 කට පෙර හසලක ප්‍රදේශයේ පියෙකු විසින් තම පුත්‍රයාට මැර පිරිසක් සිදුකළ මරණ තර්ජනයක් සම්බන්ධයෙන් පොලිසිය නිසි විමර්ශනයක් සිදු නොකළ බව පවසමින්.
මරණ තර්ජනයට ලක්වු තරුණයාගේ මළ සිරුර ඊයේ මහවැලි ගගේ තිබියදී සොයා ගැණුනා.
හසලක, පල්ලෙවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ප්‍රසන්න පියුමාල් නම් තරුණයාගේ මළ සිරුර ඊයේ මහවැලි ගගේ තිබියදී පොලිසිය සොයා ගත්තේ
ප්‍රදේශවාසියෙකු සිදුකළ දැනුම්දීමක් අනුවයි.
අදාල තරුණයා පසුගිය මස 21 වැනිදා සිට නිවසින් අතුරුදන්ව සිට ඇති අතර ඔහුගේ මෘත ශරීරය සොයාගන්නා විටත් ඊට දැඩි ලෙස හානි සිදුව තිබුණා.
මහියංගනය වැඩබලන මහේස්ත්‍රාත් එස්. ගෝවින්ද මහතා ඊයේ සවස මළ සිරුර පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නියෝග කළේ මරණ
පරීක්ෂණය සදහා මෘත දේහය මහියංගනය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.
මියගිය තරුණයාගේ පවුලේ ඥාතීන් පවසන්නේ අතුරුදන්ව සිටි තරුණයා සමග පසුගිය මස 21 වැනිදා තවත් පිරිසක් හසලක නගරයේදී ගැටුමක් ඇතිකරගෙන ඇති බවයි.
මේ පිළිබද තරුණයාගේ පියා හසලක පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කල ද පොලිසිය ඒ පිළිබද නිසි පරීක්ෂණයක් සිදුනොකල බවට චෝදනා කරමින් අද මහියංගනය – නුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා.
පැය දෙකකට අධික කාලයක් පැවති විරෝධතාව අවසන්වුයේ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැමිණ සිද්ධිය පිළිබද නිසි පරීක්ෂණයක් සිදුකරන බවට ලබාදුන් පොරොන්දුවත් සමගයි.