Gossips

පාර්ලිමේන්තුව නීතිවිරෝධීව රැස් කළහොත් කථානායකට රතු එළියක් – කෙහෙළිය

ලබන හත්වනදා පාර්ලිමේන්තුව කැඳවීමට කථානායකවරයා කටයුතු කළහොත් ඔහුට එරෙහිව ව්‍යවස්ථානුකූලව ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ආණ්ඩු පක්ෂය පවසනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පාර්ලිමේන්තුව රැස් කිරීමට බලතල හිමි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ලබන 16 වනදා කැඳවීමට තීරණය කර ඇති මොහොතක කථානායකවරයා ඊට එරෙහිව කටයුතු කිරීම නීතිවිරෝධී බවයි.
මේ අතර, ඊයේ (02) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියා සිටියේ අරලියගහ මන්දිරය අත්පත් කර ගත්තා සේ, ලබන 7 වන දා සිට පාර්ලිමේන්තුව ද අත්පත් කර ගැනීමට සැලසුම් කරන බවයි.
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ නීතිවිරෝධීව පාර්ලිමේන්තුව රැස් කිරීමට කටයුතු කළහොත් ඊට සහය පළ කරන නිලධාරීන්ට එරෙහිවද ක්‍රියාමාර්ග ගන්නා බවයි.
පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට හිටපු කථානායකවරයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර අද (03) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම සහ කැදවීමේ බලය ජනාධිපතිවරයාට හිමි වන බවයි.
එසේම සිය ධුර කාලයේදී තමන් කිසිවිටෙකත් දේශපාලන කටයුතුවල නිරත නොවූ බව ද හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියා.