Gossips

පාර්ලිමේන්තුව කැඳවීම නොවැම්බර් 7 වනදා, ජනපති පැවසූ බව කතානායක කියයි

පාර්ලිමේන්තුව නොවැම්බර් 07 වැනිදා කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට දැන් වූ බව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා.
කතානායකවරයා මේ බව දැනුම් දුන්නේ පක්ෂ නියෝජිතයින් පිරිසක් සමඟ අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදීයි.
පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලිපි යොමු කරමින් මීට පෙර කතානායකවරයාගෙන් ඉල්ලා තිබුණා.
අනතුරුව කතානායක කරූ ජයසූරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද හමු වී පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර, එම කරුණු දැනුම්දීම සඳහායි මෙම පක්ෂ නියෝජිත හමුව කැඳවා තිබුණේ.
මේ සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ට අමතරව එම පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් වන පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් සහ රිෂාඞ් බදියුදීන් එක්ව සිටියා.
එසේම, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද රැස්වීම සඳහා සහභාගි වී තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඊට එක්වුණේ එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ නලින්ද ජයතිස්සයි.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ මන්ත්‍රීවරුන් 118 දෙනෙකු අද පැවති රැස්වීම සඳහා එක්ව සිටි බවයි.