Gossips

ETI අධ්‍යක්ෂවරුන්ට නොතීසි – තැන්පතුකරුවන් අපරාධ නඩුවකුත් ගොනු කරයි

ඊ.ටී.අයි. සමාගමට සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට ලබන 29 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් අධිකරණය අද නොතීසි නිකුත් කළා.
මේ අතර, ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය, කොළඹ වානිජ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවට ඊ.ටී.අයි තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධාන සංගමයට මැදිහත්වීමට ද අද අවසර හිමිවුණා.
ඊ.ටී.අයි. ආයතනය ප්‍රතිව්‍යූහගත කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය කොළඹ වානිජ මහාධිකරණයේ මෙම නඩුව ගොනුකර තිබුණා.
නඩුව කැදවූ අවස්ථාවේදී කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු සදහන් කළේ නඩුවට මැදිහත් වීමට ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය කළ ඉල්ලීමට අවසර ලබාදීමට තීරණය කළ බවයි.
මේ අතර, ඊ.ටී.අයි. තැන්පතුකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊ.ටී.අයි සමාගමට සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අද අපරාධ නඩුවක් ගොනුකළා.
ඒ එම විත්තිකරුවන් මූල්‍ය ව්‍යාපාර පනතේ 20 වන වගන්තිය සහ දණ්ඩනීති සංග්‍රහය යටතේ වංචා කිරීම මෙන්ම, සාපරාධ විශ්වාසය කඩ කළ බව සදහන් කරමින්.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා එහිදී නියෝග කළේ ලබන 29 වනදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිටිමින් විත්තිකරුවන් වන ඊ.ටී.අයි සමාගම, ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංග එදිරිසිංහට නොතීසි නිකුත් කිරීමටයි.