Politics Sri Lanka

පළාත් පාලන මැතිවරණයෙන් පසු සුනිල් පෙරේරා පත්තරේට කියපු කතාව…

පළාත් පාලන මැතිවරණයෙන් පසු සුනිල් පෙරේරා පත්තරේට කියපු කතාව…

සුනිල් අයියා කියන්නද, සුනිල් සහෝදරයා කියන්නද?

ඕන එකක් කියන්න. මගෙ වයස හැටියට අංකල් කිව්වත් කමක් නැහැ.

සහෝදරයා කියන එක ගැළපෙන්නේ නැද්ද?

මම සාමාජිකයෙක් නෙවෙයිනේ ජනතා විමුක්ති පෙරමුණේ. මගේ අදහස්, අනෙක් අයගේ අදහස් විමර්ශනය කරලා බැලුවම පෙනුණේ දුෂණ කටයුතු අවම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ විදියට. ඒකයි ඒකට සහාය පළකරන්න හිතුවේ.

ජවිපෙ ඡන්ද ප‍්‍රතිඵලය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

ප‍්‍රතිඵලය අනෙක් ඡන්දවලට වඩා ටිකක් වැඩි වෙලා තියෙනවා කියලා ඒ අය කියනවා. මට ඒ ගැන හොයන්න බැරි වුණා. ප‍්‍රතිඵලය ඔයිට වඩා තව වැඩි වුණා නම් හොඳයි. මොකද ජනතා විමුක්ති පෙරමුණ ගම වෙනුවෙන් කරන්න සැලසුම් කරල තිබුණ දේවල් ඇත්තටම හොඳයි. ඒ දේවල් කරන්න තිබුණ නම් ලොකු දෙයක් විදියට තමයි මම දකින්නේ. ඒක හින්දා මම කියන්නේ ජේවීපී එකට තව ආව නම් හොඳයි. මේ මදි.

ඇයි ජේවීපී වේදිකාවට නගින්න හිතුණෙ?

යහපාලනයට කියල අපි දුන්නා. දුන්නට පස්සේ ඒගොල්ලොත් හොරකම් කරන්න ගත්තා. එකම දේ වෙන්න බැහැ. ජේවීපී එක පත් වෙලා ඇවිත් එහෙම කෙරුවත් ඒකට විරුද්ධවත් කතා කරන්න ඕනේ.

යහපාලනය ගේන්නත් ඔබ ඇතුළු විශාල පිරිසක් පෙනී සිටියනේ?

ඔව්. එහෙම කළා. ඒ ගොල්ලෝ කරපු වැරදිවලට විරුද්ධවත් මම කතා කළා. ටීචර් දණ ගස්සපු කෙනාට විරුද්ධව මම කතා කළා. හම්බන්තොට පිස්තෝලේ අරන් ගිය කෙනාට සංවිධායකකම දෙද්දි ඒකටත් විරුද්ධව කතා කළා. කලාකරුවන්ට ගහපු කෙනාට සංවිධායකකමක් දුන්නා. මම ඒකටත් විරුද්ධව කතා කළා. ඒක හින්දා යහපාලනය ගේන්න වැඩ කරපු මම එයාලා වැරදි නිසා ජේවීපී එක වෙනුවෙන් පෙනී ඉන්නවා.

ඔබ ජවිපෙ වේදිකාවට නැගලා කිව්වේ ප‍්‍රධාන පක්ෂ දෙක හැර වෙන කෙනෙකුට ඡන්දෙ දෙන්න කියලනේ. දැන් ඒක නේද වෙලා තියෙන්නේ?

ඔව්. ඒක තමයි ප‍්‍රධාන පක්ෂ දෙකත් එක්ක තියෙන විරෝධය.

ඒ සම්බන්ධයෙන් සුනිල් පෙරේරගෙ තියෙන විරෝධය මොකක්ද?

නරක වැඩ කරපුවාම ප‍්‍රතිඵලය හොඳ විදියට එන්නේ නැහැ. ඒක තමයි අපි කියන්නේ නරක වැඩ කරන්න එපා. එහෙම වුණොත් ජනතාව ඒකට විරුද්ධ වෙනවා.

හැබැයි ඇවිත් තියෙන්නෙත් හොඳ වැඩ කරපු අය නෙවෙයිනෙ?

ඒක තමයි. ඒ එක නඩුවක්වත් ඇහුවෙ නෑනේ. එහෙම කරාට පස්සේ අපිට ඒ අයත් එක්ක ඉන්න බෑනෙ. අපි කිව්වා ආණ්ඩුව පත්වුණ වෙලාවේ ඒ හොරු අල්ලන්න කියලා. අදටත් කියන්නේ ඒ ටික තමයි.

ඇයි ජවිපෙ ඔය තරම් හොඳ නම් මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැත්තෙ?

මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැත්තේ මොකද කියන එක මට තේරෙන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ට යම් දවසක තේරෙයි. මේ රටේ මිනිස්සු හොරකමට, දුෂණයට විරුද්ධව දැනගන්න ඕනේ. මිනිස්සු නැගිටින්නේ නැත්නම් දුෂණය දිගටම සිද්ධ වේවි. අරගලයකට ගොඩක් කල් යයි. හැබැයි දුෂණයට විරුද්ධව අපි හෙටත් පෙනී ඉන්නවා.

අරගලය කිව්වේ 88/89 වගේ ජවිපෙ අරගලයද?

නැහැ. දුෂණයට එරෙහි අරගලය. ඒ කාලේ දැන් ඉන්න අය අවුරුදු 14, 15 ළමයි. ඒ අය ඒ දේවල්වලට සම්බන්ධයක් නැහැ.

ජවිපෙ ප‍්‍රතිපත්ති ගැන සුනිල් පෙරේරට අවබෝධයක් තියෙනවද?

නැහැ. මම දන්නේ නැහැ. මම ඒ අය එක්ක ඉන්නේ දූෂණයට විරුද්ධව විතරයි. තව ඒ අයගේ හොඳ දෙයක් තියෙනව ජාතික සමගිය සම්බන්ධයෙන්. සියලු ජාතීන් එකට සිටිය යුතුයි. ඒ වෙනුවෙන් ජවිපෙට මගේ සහයෝගය ලබා දෙනවා.

එක්සත් ජාතික පක්‍ෂයත් ජාතික සමගිය වෙනුවෙන් පෙනී ඉන්නවා නේද?

එතන ඉන්නවා ඇති. ඒත් හොරකම් අතින් ඒ අයගේ අඩුවක් නැහැ. ඒ අය බොහොම හිතුවක්කාර විදියට කතා කරන්නේ. ඒ දේවල් නිසා තමයි මේ වගේ ප‍්‍රතිඵලයක් ආවේ.

ලෙනින්ගේ පොත් කියවපු උන් දැන් සුනිල්ගේ කතා අහන්නේ කියලා ෆේස්බුක් එකේ පෝස්ට් එකක් තිබුණා.

ඕවා එක එක්කෙනා හදල දාන ඒවා. මගේ කතාවලින් එයාලට විශේෂ දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් කලාකරුවො හැටියට දුෂණයට විරුද්ධව ඒකරාශි වුණේ තාමත් ඒක එහෙමමයි. හෙට දවසෙත් ජවිපෙත් එක්ක හිටගන්නේ මේ දුෂණයට එරෙහිව. අනිත් අයත් එක්ක ඒ වෙනුවෙන් එකතු වෙන්න බැහැ. අපිට කතා කරන්න, ලියන්න නිදහසක් තිබුණෙත් නෑනෙ.

විපක්ෂෙ ඉද්දි හැමෝම කතා කරන්නේ ආණ්ඩුවේ දුෂණයට විරුද්ධව. බලයට ආපුවාම තමයි හොරකම් කරන්නේ. ජවිපෙත් එහෙම නොකරයි කියලා හිතන්න පුළුවන්ද?

ඒ අයට බලයක් හම්බ වුණේ නැහැනේ. එයාලා බලයක් අරන් හොරකම් කළොත් අපි ඒකට විරුද්ධවත් කතා කරනවා. මේ කරන දේවල් මිනිස්සුන්ට දැනෙන්න ඕනේ.

හැබැයි සුනිල් පෙරේරා කියන්නේ යූඇන්පී කාරයෙක්?

ඔව්. ප්‍රේමදාස මහත්තයගෙ කාලේ. ගොඩක් වැරදි වුණානේ පක්ෂෙන්. ඒ නිසා තමයි ඒකෙන් අයින් වුණේ.

ඒ කියන්නේ ඒකාලෙන් පස්සේ පක්ෂයේ කිසිම වැඩකට ගියේ නැද්ද?

නැහැ. කිසිම වේදිකාවකට ගොඩ වුණේ නැහැ. මම අන්තිමට යන්න හිටියේ ප්‍රේමදාස මහත්තයා මැරිච්ච අවුරුද්දදේ. මම ඇඳගෙන යන්න එළියට බහිද්දි කෝල් එකක් ආවා එන්න එපා ප‍්‍රශ්නයක් වෙලා කියලා. එතකොට තමයි බෝම්බේ පුපුරලා තිබුණේ. ඊට පස්සේ මම යූඑන්පී වේදිකාවට ගොඩ වුණේ නැහැ.

යූඇන්පී එකෙන් ඡන්දෙ ඉල්ලන්නත් අවස්ථාවක් ලැබුණා?

ඔව් ටිරෝන් ප‍්‍රනාන්දුගේ කාලේ මට ආරාධනා කළා ඡන්දෙ ඉල්ලන්න. ඒත් මම ගියේ නැහැ.

ඇයි?

මම දන්නේ නැහැ දේශපාලනය. මට උගත්කමක් නැහැ ඒකට. මම විශ්වාස කරන්නේ මේකට උගත්කමක් තියෙන්න ඕනේ. අට පාස් අය මේකට එනව නම් ඒක වැරදියි.

කලාකරුවෝ කියන්නේ සංවේදී පිරිසක්. එයාලා කියන දේවල් ජනතාවට දැනෙනවා වැඩියි. හැබැයි ජවිපෙට ඡන්දෙ දෙන්න කියන පණිවිඩය දැනිලා නැහැ නේද?

ඒක මිනිස්සුන්ට කවදා හරි දවසක් දැනෙයි. ඒ වෙද්දි මම ජීවතුන් අතර නැති වෙයි. ඒත් මිනිස්සු ඒකට පිළිතුරක් දෙයි. ජේවීපීයට තව ඡන්ද ලක්ෂයක්වත් ආවා නම් අපිට බලන්න තිබුණා ජවිපෙ මොකද කරන්නේ කියලා.

කවුද ඔය අපි අපි කියන්නේ?

මගේ පවුලේ අය.

ඒ කියන්නේ පවුලේ හැමෝම දුන්නේ ජවිපෙට?

ඔව්. අපේ අයියලා මල්ලිලා හැමෝම ජවිපෙට දුන්නේ. මේ හැමෝම යූඇන්පී එකට ඡන්දෙ දෙන අය. හැබැයි මීට කලින් ජවිපෙත් එක්ක කිසිම සම්බන්ධයක් තිබුණෙ නැහැ.

ඇයි ඒ ජවිපෙ එක්ක සම්බන්ධයක් නොතිබුණේ?

සමහර විට වයස නිසා වෙන්න ඇති. 80 ගණන්වල තිබුණු අමිහිරි අත්දැකීම් මතත් ජවිපෙට කොහොමටවත් කැමැත්තක් තිබුණේ නැහැ. හැබැයි 89 හිටපු අය නෙවෙයි දැන් ඉන්නේ.

කොයි කාලේ වගේ ඉඳලද ජවිපෙ ඇසුර පටන් ගත්තේ?

2014 වගේ ඉඳලා. එයාලාගේ එක එක රැස්වීම් තිබුණා. ඒවට ගියේ නැහැ. හැබැයි ජාතික සමගිය වෙනුවෙන් තිබුණ වැඩසටහනකට ගියා. ජාතික සමගිය විය යුතුම දෙයක්. ජාතික සමගිය ඇති කිරීමට ජවිපෙ ඉදිරියට ආවට අනිත් පක්ෂ ඒකට ඉදිරියට ඇවිත් නැහැ. ඒක කණගාටුවට කරුණක්.

හැබැයි ඔය ජවිපෙම තමයි යුද්දෙටත් මහින්ද රාජපක්‍ෂව ඉස්සරහට තල්ලු කළේ?

යුද්ධෙ නතර කළ යුතුයි. ඊට වඩා ඒක සාමකාමීව නතර කරන්න තිබුණ නම් ගොඩක් හොඳයි. ඒත් එහෙම එකක් වුණේ නෑනේ. ඊට වඩා ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයව අගමැති කරන්නත් ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කළා. ඒත් ඒකට ඉඩ දුන්නෙත් නැහැ. විරුද්ධ වුණා. ආගම, භාෂාව වෙනස් වුණ පලියට. ඒ අය අපේ සහෝදරයෝ.

පළාත් පාලන ඡන්දය දිනපු පොහොට්ටුවට ලැබුණ සියලුම ඡුන්ද සිංහල ඡන්ද. හැබැයි ජාතික සමගිය ගැන කතා කරන ජවිපෙට එහෙම ලැබුණෙ නැහැනේ.

ඒක ජවිපෙට පාඩුවක්. ජාතික සමගිය කොයි තරම් අවශ්‍යද කියලා තේරුම් ගන්න නොලැබීම අභාග්‍යයට කරුණක්. එහෙම නැතිව ජාතියකට ඉදිරියකට යන්න බැහැ. මොන රජයක් බලයට ආවත් ඒ මතය ඉදිරියට ගෙන යා යුතුයි. මිනිස්සුන්ගේ ඔළුව හැදිලා තියෙන්නේ මේ රට සිංහලුන්ගේ කියලා විතරයි. අනිත් අය ගැන හිතන්නේ නැහැ.

මේක වෙනස් කරන්න ඔනෙ කොහොමද?

මේකට පූජ්‍ය පක්‍ෂය එන්න ඔනේ ඉස්සරහට. එහෙම එන හොඳ උදවිය ඉන්නවා. මම කියන්නේ නැහැ එහෙම නැහැ කියලා. නමුත් පොඩි පිරිසයි. දඹර අමිල හාමුදුරුවෝ වගේ අය මේ ගැන කතා කරනවා. සාමාන්‍ය මිනිස්සු අසරණ නිසා ඔළුව ඉක්මනින් හදන්න පුළුවන් එක ක‍්‍රමයක් තමයි ජාතිවාදය ඔළුවට දාන එක. ඒකෙන් හරි ලේසියි මිනිස්සුන්ව අවුස්සන්න.

ජවිපෙ වේදිකාවෙදි ඔබ කිව්වා රැස්වීම්වලට මිනිස්සු එන්නෙ දුප්පත්කමට කියලා. ජවිපෙ වේදිකාව ඉස්සරහටත් ආවෙ ඒ නිසාද?

ඔව් දුප්පත්කමට තමයි. පිටරටවල ඡන්ද රැස්වීම්වලට මිනිස්සු එන්නේ නැහැ. මිනිස්සු හොයා ගන්න බැහැ. ඔයා ඔස්ට්‍රේලියාවට ගියොත් එහේ සෑම මනුස්සයකුටම අවශ්‍ය දේවල් තියෙනවා. ඔවුන්ගේ ජීවන තත්වය උසස්. මෙහේ අවුරුදු 70ක් පක්ෂ දෙකක් එකතු වෙලා රට කරලා තාමත් මිනිස්සු බෝට්ටුවකින් වෙන රටකට යන්න දඟලනව නම් මේ පක්ෂ දෙක වග කියන්න ඕනේ. මනුස්සයින්ගේ රස්සාවලින් ජීවත් වෙන්න අමාරුයි. ඔස්ට්‍රේලියාවට ගිය ගමන් ඉස්කෝල 5ක් දෙනවා ඕන එකක්ට දාගන්න. මෙහේ ඇමතිතුමාගෙන් ලියුමක් ඕනේ. මන්ත‍්‍රීගෙන් ලියුමක් ඕනේ. මගෙනුත් ලියුම් අරන් යනවා. ඔන්න ඕකයි රටේ තත්ත්වේ.

ඇයි ඉතින් ඔය හැමෝම මේ අරගලයට එන්නේ නැත්තේ ?

මම මගේ බිරිඳගෙන් ඇහුවා මම මේවට ගියාට කමක් නැද්ද කියලා. එයා කිව්වේ අපට කිසිම දේකින් කරදරයක් නැහැනේ. ඕවට යන්න ඕනෙ නැහැ කියලා. අන්න එහෙම හිතන නිසා තමයි ගොඩක් අය මේකට එන්නෙ නැත්තේ. මමත් එහෙම හිතුවා කාලයක්. ඒත් දැන් එහෙම හිතන්නෙ නැහැ. ඒ දේවල් තමාට විතරක් ලැබෙනව නම් ඒ ක‍්‍රමවේදය වැරදියි. අනිත් අයටත් ඒ දේවල් ලැබෙන්න ඕනේ. මාවත් වැටෙන්නේ ධනපති පන්තියට. ඒත් ගොඩක් අය මේකට එන්නෙ නැහැ. හැබැයි එහෙම හිටිය නම් ඔය මඩ ගහන්නෙත් නැහැ. මේක අපේ වගකීමක්.

මෙච්චර කල් නොගියේ ?

සමහර කලාකරුවෝ දේශපාලකයෙක් දිනපු ගමන් ගිහිං ප‍්‍රශස්ති කියනවා. එයා පැරදිලා අනිත් කෙනා ආපුවාම. මම කිව්වේ ප්‍රේමදාස මහත්තයාගෙන් පස්සේ මම දේශපාලනයට සම්බන්ධ වුණේ නැහැ. අනික අපිට හැම දෙයක්ම තිබ්බා. ඒ නිසා යන්න උවමනාවක් වුණේ නැහැ. ගෙවල්වලින් යන්න දුන්නෙත් නැහැ. හැබැයි අපි දකිනවා එයා ළඟට ගිහින් ප‍්‍රශස්ති කියනවා. ගොඩක් සල්ලි තියෙන අය තමන්ගේ දේවල් නැතිව යනවට කැමති නැහැ. සමහර අය මේවට හඬ දෙන්නේ නැහැ. හැබැයි සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා. එයාලා එන්න ඕනේ මේකට.

ඒ කවුද?

කුමාර් සංගක්කාර, මහේල වගේ අය. ඒ අය වුණත් මේවට එන්න කැමති නැහැ. අපි උත්සාහ කරල බැලුවා. එයාලා බයයි මඩ ගෑවෙයි කියලා. එයාලගේ ප‍්‍රතිරූපයට හානියක් වෙයි කියල බය තියෙනවා. නමුත් ඉතින් රට ගැන හැඟීමකින් එනව නම් පොඩ්ඩක් මඩ ගෑවෙනවා. සමහර විට මේ ලංකාවේ දේශපාලනය අනුව වෙන වෙන කරදරත් වෙන්න පුළුවන්.

සුනිල් පෙරේරටත් එහෙම කරදර වෙලා තියෙනවද?

නැහැ. විශේෂයෙන් කියලා එහෙම කරදරයක් වෙලා නැහැ. ෆේස් බුක්වලින් ගොඩක් බණිනවා. ඒකට මට විරුද්ධ වෙන්න බැහැ. අපි කරන වැඩේ ගොඩක් අමාරුයි. ජවිපෙ වගේ වේදිකාවක කතා කළාට අපිට ඇති වෙන දෙයක් නැහැ. තියෙන දේත් නැති වෙනවා විතරයි. එක්කෙනෙක් මගෙන් ඇහුවා ඔයා ජවිපෙට කඩේ යනවද කියලා. කඩේ යන්නෙ යම්කිසි දෙයක් තමන්ට ලබා ගන්න. මේකට කඩේ ගියයි කියලා මොනවත් ලැබෙන්නේ නැහැ. කලාකරුවෝ හැටියට එහෙම වෙන වෙන දේශපාලකයෝ එක්ක ගිහින් ලබා ගත්ත අය ඉන්නවා. ඒවා ලබා ගත්තට හරියන්න ඒ අය ඒවට වැඩ කරන්න ඕනේ. ප‍්‍රශස්ති කියන්න ඕනේ.

මොනවත් ලබා ගත්තේ නැහැ කිව්වට ෆේස්බුක් එකේ තිබුණෙ ජවිපෙ තියෙන ලොන්ඩ්‍රියෙන් සුනිල් පෙරේරා කුණු හෝද ගත්තා කියලා?

මට මොනවද හෝදන්න තිබුණෙ. මට එහෙම දෙයක් නැහැ. මම නිකං හිටියනම් ඔය කිසි දෙයක් අහන්න වෙන්නෙ නැහැනේ. මම දෙයක් කරන නිසා තමයි ඔය දේවල් කියන්නේ. ඔන්න බලගතු පක්ෂයකට වගේ සෙට් වුණා නම් හරි.

කවුරු හරි කිව්වොත් සුනිල් පෙරේරටත් ප‍්‍රතිපත්තියක් නැහැ කියලා. ජනාධිපතිවරණයේදී ධනවාදී පක්ෂ වෙනුවෙන් වැඩ කරලා දැන් ජවිපෙ වෙනුවෙන් පෙනී ඉන්න එකට?

එහෙම කියන්න පුළුවන්. නමුත් අපිට විරෝධයක් තියෙන නිසයි මෙතෙන්ට ආවේ. එයාලා හරියට ඒ දේවල් කළා නම් අපි ජවිපෙට එන්නේ නැහැ.

ජවිපෙ අයගෙන් වැඩියෙන්ම කවුද කතා කරන්නේ?

ගොඩක් වෙලාවට බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති ඉඳල හිටල කතා කරනවා. වසන්ත සමරසිංහත් ගොඩක් වෙලාවට කතා කරනවා.

විශාරද ගුණදාස කපුගේ, නන්දා මාලිනී වගේ දැවැන්ත චරිත මේ ජවිපෙ වෙනුවෙන් පෙනී ඉඳලා යම් ජනතා ආකර්ෂණයක් දිනා දුන්නා. සුනිල් පෙරේරා එහෙම ගියා කියලා වෙනසක් තියෙනවද?

මම හිතන්නේ නැහැ. වැඩි වුණා නම් ඔයිට වැඩිය දෙයක් ලැබෙන්න එපැයි. මට හිතෙනවා මීට වඩා කලින් ගියා නම් ඔයිට වැඩිය දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා.

සමාජවාදය, පන්ති පහ ඉගෙන ගන්න හිතන්නේ නැද්ද?

නැහැ. එහෙම අවශ්‍ය වෙන එකක් නෑ මම හිතන්නේ.

ඉරිදා ඇපල්