Gossips

පාර්ලිමේන්තුවේ සැසිවාරය එළඹෙන 5 වනදා – අගමැති

පාර්ලිමේන්තුවේ සැසිවාරය එළඹෙන 5 වනදා කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇතිබව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව කල්තැබීම අවලංගු කර යළි පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත දින වූ 5 වන දිනටම සැසිවාරය කැඳවනු ඇති.
මේ අතර, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට හිමි අසුන සහ සියලු වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදීමට කථානායක කරූ ජයසූරිය එකඟ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර පැවති සාකච්ජාවේදී මෙම එකඟතාවයට පැමිණි බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
මෙම හමුවේදී ජනාධිපතිවරයා කථානායකවරයාට දැනුම්දී තිබුණේ පාර්ලිමේන්තුව තුළ නව අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය පහසුකම් සැළසීමට කටයුතු කරන ලෙසටයි.
මේ අතර,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර හමුවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
අද(31) පස්වරු 5 ට පමණ කථානායකවරයා, ජනාධිපතිවරයා හමුවීමට පැමිණි අතර, මේ වනවිට ඔහු ඉන් පිටව ගොස් තිබෙනවා.
කථානායක කාර්යාලය සඳහන් කළේ කල් තබා ඇති පාර්ලිමේන්තුව කැඳවන ලෙසට එහිදී කථානායක කරූ ජයසූරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි. ඒ පිළිබඳ සළකා බලා ඉදිරියේදී දැනුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළ බව සාකච්ඡාවෙන් අනතුරුව කතානායක කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
එසේම ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ නව අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ අවශ්‍ය පහසුකම් සැළසීමට කටයුතු කරන ලෙසයි.
අදාළ කටයුතු සොයා බලා සිදුකරන බව කථානායක කරූ ජයසූරිය මෙහිදී සඳහන් කළ බව ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත හානා සිංගර් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක්ද ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වුණා.
එහිදී මේ වනවිට රටේ ඇති වී තිබෙන දේශපාලනික තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඇයව දැනුම්වත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
රජයේ සියලු කටයුතු සිදුකර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවද මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා.
එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියටද ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බව එම සංවිධනයේ මෙරට නිත්‍ය නියෝජිතවරිය ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
එමෙන්ම, රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක්ද අද ජනාධිපති මන්දිරයේදී සිදුවුණා.
නව රජයේ ඉදිරි වැඩකටයුතු වෙනුවෙන් පූර්ණ සහය ලබාදීමට මෙහිදී සියලු සංවිධායකවරු කැමැත්ත පළ කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලූ සහයෝගය සක්‍රියව ලබාදීමට කැපවන බවටද ඔවුන් සහතික වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.