Gossips

රිදීමාලියද්දේ 46 ක් ඇප ලැබෙනතුරු පැය ගණනක් සිරමැදිරියේ

පොලිස් නියෝග පැහැර හරිමින් නීතිමය කටයුතුවලට සහය නොදැක්වීම යටතේ මහියංගණය අධිකරණය මගින් සිතාසි නිකුත් කර තිබූ 46 දෙනෙකුට ඇප ලබාගන්නා තුරු බොහෝ වේලාවක් උසාවි සිර මැදිරිය තුළ ගතකිරීමට සිදුවීමේ පුවතක් රිදීමාලියද්ද ප්‍රදේශයෙන් අද වාර්තාවුණා.
රිදීමාලියද්ද ප්‍රදේශයේ සිදුකිරීමට යොජිත උක් වගා ව්‍යාපෘතියකට පවරන ලද ඉඩමකට බලහත්කාරයෙන් ඇතුලූවී වගා කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් මහවැලි අධිකාරිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි මෙම නඩුව පවරා තිබුණේ.
ඒ පැමිණිලි විභාගයට ඔවුන් පොලීසියට නොපැමිණීම හේතුවෙන්.
ඒ අනුව රිදීමාලියද්ද – ඇකිරියන්කුඹුර සහ දෙහිගම ප්‍රදේශවල පදිංචි මෙම පුද්ගලයින් 46 දෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහියංගණය මහේස්ත්‍රාත් නාලක සංජීව නියෝග කළ අතර, රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප දෙකක් ලබාදීමෙන් පසුව ඇප ලබාදෙන ලෙසද නියෝග කළා.
ඇප කොන්දේසි සපුරන තුරු ඔවුන් උසාවි සිර මැදිරියට යොමු කළත් එහි පැය ගණනක් ගත කිරීමට සිදුව තිබුණේ හදිසියේ ලද නියෝගය මත ඇප ලබාදීම සඳහා එක්වර විශාල පිරිසක් සොයාගැනීම අපහසුවීම හේතුවෙන්.