Gossips

ජනපති සහ කථානායක හමුව අද සිදුවන ලකුණු

කථානායක කරූ ජයසූරිය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර හමුවක් අද (31) පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
එහිදී පාර්ලිමේන්තුවේ ඊයේ (30) පැවති විශේෂ පක්ෂ නියෝජිත රැස්වීමේදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.
විශේෂ පක්ෂ නියෝජිත රැස්වීම පැවැත්වුණේ කථානායකවරයා සිදුකළ කැදවීමකට අනුවයි.
එහිදී එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂවල නියෝජිතයින් ඉල්ලා ඇත්තේ වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසටයි.
ඊට සහභාගිවූ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය සරත් අමුණුගම සහ ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇතුලු පිරිස නව අගමැතිවරයෙකු පත් කිරීම සහ පාර්ලිමේන්තුව කල් තැබීම නීත්‍යානුකූලව සිදුව ඇති බවට කරුණු දක්වා තිබෙනවා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ඉක්මනින් සාකච්ඡා කර රට තුළ මතුව ඇති අස්ථාවර භාවයට විසඳුම් ලබාදීමට තමන් උපරිමයෙන් මැදිහත් වන බව මෙහිදී කථානායක කරූ ජයසූරිය පක්ෂ නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා යොමුකළ ලිපියක්ද ඊයේ (31) සාකච්ඡාවේදී අවධානයට ලක්ව ඇති අතර, එම කරුණ පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානයට ගනු ලබන බව කථානායකවරයා මෙහිදී දන්වා සිටි බවයි කථානායක මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේ.