Gossips

පක්ෂ නියෝජිතයින් රැස්වෙයි

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය සහ පක්ෂ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා.
අද (30) පෙරවරු 11.20ට පමණ මෙම සාකච්ඡාව පාර්ලිමේන්තුවේදී ආරම්භ කෙරුණු බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.
මෙම සාකච්ඡාව සඳහා ඊයේ (29) දිනයේ අමාත්‍ය ධුර ලබා ගත් විජේදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්දා, මහින්ද සමරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන එක්ව සිටිනවා.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊට එක්ව සිටින අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල එක්ව සිටින බව සඳහන්.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් ද මෙම පක්ෂ නියෝජිත සාකච්ඡාවට සහභාගි වී සිටින බවයි කථානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර, හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් කල් තැබූ පසු එය යළි කැදවීමට කථානායකවරයාට කිසිදු අයිතියක් නොමැති බවයි.