Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග අත්අඩංගුවට – තෙල් සේවකයින් වර්ජනය අත්හරී

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ සමඟම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් දියත් කර තිබූ වර්ජනය ද අත්හිටුවීමටයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමය පියවර ගත්තේ.
ඊයේ පස්වරුවේ දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සේවකයින් 3 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
පසුව එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහු ගම්පොළ – ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි රංග රාජපක්ෂ නැමැති එක් දරු පියෙක්.
ඔහුගේ බිරිඳ තම ස්වාමි පුරුෂයා ජීවිතක්ෂයට පත්වීම පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ ඊට සාධාරණයක් ඉටු කරන ලෙසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ පස්වරුවේ දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයට පැමිණි අතර, සංස්ථාවේ සේවකයින් ඔහුට විරෝධය පළ කළේ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකරන බවට චෝදනා කරමින්.
එමෙන්ම අමාත්‍යවරයාගේ නියෝග පරිදි ඔහුගේ ආරක්ෂකයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකළ බවට ද ඛනිජ තෙල් සේවකයින් චෝදනා කළා
වෙඩි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු පොලීසිය අත්අඩංගුවට ගත් අතර, මන්ත්‍රීවරයා පොලිස් විශේෂ බලකා ඇඳුමක් අන්දවා එම ස්ථානයෙන් පිටතට රැගෙන ඒමටයි පොලීසිය කටයුතු කළේ.
කෙසේ වෙතත්, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංගට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර අවධාරණය කළා.
මේ අතර, අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග අද පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළේ ඔහු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසටයි.
එමෙන්ම වෙඩි තැබීම සිදුකළ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
rnrn