Gossips

හිටපු ඇමති අර්ජුන අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා තෙල් සංස්ථා සේවකයින් තවදුරටත් වර්ජනයේ (ඡායාරූප)

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඛනිජ තෙල් සේවකයින් ඊයේ (28) රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
ඛනිජ තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කොළොන්නාව, සපුගස්කන්ද, මුතුරාජවෙල තෙල් බෙදාහැරීමේ සහ තොගතෙල් ගබඩා පර්යන්තයේ සේවකයින් මෙම වර්ජනයට එක්ව සිටින බවයි.
හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග, අවශ්‍ය ලිපි ලේඛන කිහිපයක් රැගෙන යාම සඳහා ඊයේ (28) පස්වරුවේ එම පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී සංස්ථා සේවකයින් ඔහුට විරෝධය පළ කළේ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකරන බව පවසමින්.
එහිදී දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුණා.
එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී එක් අයෙකු මියගියා.
මෙලෙස මියගියේ කුරුණෑගල පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් දෙදෙනාගෙන් එක් අයෙකු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම සිද්ධියත් සමඟ සංස්ථා සේවකයින් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට එරෙහිව දිගින් දිගටම සිය විරෝධය එල්ල කළා.
පැවති තත්ත්වය හමුවේ පැය 3 කට වැඩි කාලයක් හිටපු අමාත්‍යවරයාට තෙල් සංස්ථා පරිශ්‍රය තුළ රැඳී සිටීමට සිදුවුණා.
එම අවස්ථාව වනවිටත් පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරළි මර්දන ඒකකය සහ ජල බවුසර් එම ස්ථානයට කැඳවා තිබූ අතර, පසුව විශේෂ කාර්ය බලකායේ නිල ඇඳුමක් අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයාට අන්දවා පිටතට කැඳවාගෙන යාමට කටයුතු කළා.
වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා