Gossips

ඛනිජ තෙල් සේවකයින් දැඩි තීරණයක් ගනී

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඛනිජ තෙල් සේවකයින් වර්ජනයක් ආරම්භකර තිබෙනවා.
ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ අද සිදුවූ වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
දෙදෙනකු බරපතල තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඉන් එක් අයෙකුයි අද (28) පස්වරුවේ මිය ගියේ.
හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග, අවශ්‍ය ලිපි ලේඛන කිහිපයක් රැගෙන යාම සඳහා අද (28) පස්වරුවේ එම පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී සංස්ථා සේවකයින් ඔහුට විරෝධය පළ කළේ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකරන බව පවසමින්.
එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු තුවාල ලැබුවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ ආරක්ෂක නිලධාරියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.