Politics Sri Lanka

පාර්ලිමේන්තු කාරක සභා ජනමාධ්‍ය විවෘත කිරීම ඇතුළු ස්‌ථාවර නියෝග ප්‍රතිශෝධන කෙටුම්පත මැතිසබයට

පාර්ලිමේන්තු කාරක සභා ජනමාධ්‍ය විවෘත කිරීම ඇතුළු ස්‌ථාවර නියෝග ප්‍රතිශෝධන කෙටුම්පත මැතිසබයට

පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) ඇතුළු කාරක සභා ජනමාධ්‍යයට විවෘත කිරීම සහ අගවිනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්ට එරෙහිව දෝෂාභියෝගයක්‌ පැමිණි අවස්‌ථාවේ.

එය විමර්ශනය කිරීමට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු පත් කිරීම ඇතුළු සංශෝධන ඇතුළත් ස්‌ථාවර නියෝග ප්‍රතිශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) විවාදයට ගැනුණි.

පාර්ලිමේන්තුවේ හෝ කාරක සභාවල වැඩ කටයුතු සජීවී ලෙස විකාශය කිරීම සඳහා ඉඩ සලසනු ලැබීම, ඒ සඳහා සීමා පනවනු ලැබීම හෝ පාලනය කරනු ලැබීම හෝ ඒ පිළිබඳව තීරණය කිරීමේ සිය අභිමතානුසාරී බලය ක්‍රියාවේ යෙදවීමට අවස්‌ථානෝචිත පරිදි කථානායකවරයාට හෝ කාරක සභාවක සභාපතිවරයාට හැකි බව ද එහි සඳහන්ය.

විෂම පැවැත්ම හෝ අබලතා යන හේතු මත අග්‍ර විනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයකු එම ධුරයෙන් ඉවත් කරනු ලැබීම සඳහා ජනාධිපතිවරයා අමතා යෝජනා සම්මතයක්‌ ඉදිරිපත් කළ අවස්‌ථාවක කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා සහ විපක්‌ෂ නායකවරයා විමසා මේ ගැන විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් තිදෙනකුගෙන් සමන්විත විමර්ශන මණ්‌ඩලයක්‌ පත් කරනු ලැබිය යුත්තේය යනුවෙන් ද සංශෝධනය වී ඇත.

එසේ පත් කරන ලද විමර්ශන මණ්‌ඩලය විසින් මාස දෙකක කාලසීමාවක්‌ ඇතුළත දී විමර්ශන අවසන් කරනු ලැබිය යුතු අතර මණ්‌ඩලයේ ඉල්ලීම මත කථානායකවරයාට එක්‌ මාසයක කාල සීමාවක්‌ සඳහා දීර්ඝ කළ හැකි බව ද සඳහන්ය.

විමර්ශන මණ්‌ඩලයේ තීරණය අනුව කථානායකවරයා ඉදිරි පියවර ගත යුතු වේ.

පාර්ලිමේන්තු වාරාවසාන කිරීම හෝ විසුරුවා හැරීම නොසලකා විමර්ශන මණ්‌ඩලය සිය කටයුතු කළ යුත්තේය යනුවෙන් ද මෙම නව ස්‌ථාවර නියෝගවල දැක්‌ වේ.

මෙම ස්‌ථාවර නියෝග සම්මත කර ගැනීම සඳහා ඊයේ පැවති විවාදය ඉදිරි දිනකට කල් තබන ලදී.