Gossips

වතුකරයේ දේශපාලනඥයන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් වතුකරයේ දේශපාලනඥයින් රජයට අනතුරු අඟවනවා.
ඊයේ දිනයේදී කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල විරෝධතා පැවැත් වූයේ වතු වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින්.
වතු හාම්පුතුන්ගේ සංගමය ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් 600 දක්වා පමණක් වැඩි කළ හැකි බවයි.
දැනට වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් 530 ක්.
වතු කම්කරුවෙකුට ලැබෙන රුපියල් 805 ක මුළු දෛනික වැටුප රුපියල් 940 ක් දක්වා ඉහළ නැංවීමට වතු හාම්පුතුන් යෝජනා කර ඇති නමුත්, ඊට කම්කරුවන් එකඟ නොවී ඇති බවද එම සංගමය පෙන්වා දෙනවා.
මීට අමතරව තේ දළු කිලෝ 16 ත්, 18 ත් අතර ප්‍රමාණයට වැඩි පුර නෙලන කම්කරුවන් සඳහා දළු කිලෝවකට රුපියල් 28 ක මුදලක් ගෙවීමටද යෝජනා කර ඇති බව සඳහන්.
එක් වතු කම්කරුවෙකුට පහසුකම් සැපයීම සඳහා සමාගමක් දිනකට රුපියල් 125 ක මුදලක් වැය කරනු ලබනවා.
කෙසේ වෙතත්, වතු වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම පිළිබඳව රජයට බලපෑම් කරන බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය පලනි දිගම්බරන් සඳහන් කළේ.
වතු කම්කරුවන්ගේ වැටුප් ගැටළුව ජාතික ප්‍රශ්නයක් බවත්, එයට විසඳුමක් ලබා නොදුනහොත් මෙවර අයවැයේදී රජයට සහය ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය හා කඳුරට පෙරමුණේ නායක වී.රාධක්‍රිෂ්ණන් නුවරඑලියේදී ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ.
මේ අතර, ලබන සඳුදා අගමැතිවරයා හමු වී වතු කම්කරු ගැටළුව පිලිබඳව සාකච්ඡා කරන බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.