Gossips

දිවයින පුරා වැසි තවදුරටත් – ජලාශ 08ක වාන් දොරටු විවෘතයි

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි අද දිනයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.
මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයකම වාන් දොරටු මේ වනවිටත් විවෘතව පවතින බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
ඒ අනුව, දැදුරු ඔයේ වාන්දොරටු 4 ක්, පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 6 ක් සහ තබ්බෝව ජලාශයේ වාන්දොරටු 2 ක් මේ වනවිට විවෘත කර තිබෙනවා.
එමෙන්ම, රාජාංගනය, අංගමුව, පොල්ගොල්ල යන ජලාශවල වාන් දොරටු 2 ක බැගින් විවෘත කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
වික්ටෝරියා ජලාශයේ ද වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වී තිබෙනවා.
කුකුලේ ගඟ ජලාශයේ එක් වාන්දොරටුවක් තවදුරටත් විවෘතව පවතින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.
මේ අතර අවධානම් සහිත ගස් අතු කපා දැමීම හේතුවෙන් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාව 97 කිලෝමීටර් කණුව සහ 98 කිලෝමීටර් කණුව අතර කොටස අද පෙරවරු 9යේ සිට වසා දැමෙනු ඇති.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
එමෙන්ම අකුණු සැර වැදීම හේතුවෙන් කැළණිය ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ ගින්නක් හට ගත් අතර කොළඹ ගිනි නිවීමේ ඒකකය මැදිහත්ව ගින්න නිවා දමා තිබුණා.