Gossips

ගල්ඔය දී වෑන් රථයක ගැටී තවත් වන අලියෙකු මරුට (ඡායාරූප)

හබරන – කන්තලේ මාර්ගයේ ගල් ඔය ප්‍රදේශයේදී වෑන් රථයක ගැටීමෙන් වන අලියෙකු ඊයේ රාත්‍රියේ මියගියා.
හබරන පොලීසිය සඳහන් කළේ අනතුරින් වෑන් රථයට සුළු හානි සිදුවී ඇති නමුත් එහි ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බවයි.
මෙම වෑන් රථය දඹුල්ල ප්‍රදේශයේ සිට ගමන් කර ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර දුම්රියේ වන අලි ගැටීම පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව අද පස්වරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත භාරදීමට නියමිතයි.
ඉන් අනතුරුව අමාත්‍යවරයා, එවැනි ඛේදවාචක වළක්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීමට ද කටයුතු කරනු ඇති.
දුම්රියේ වනඅලි ගැටීමට හේතු 18 ක් මෙම කමිටුව හඳුනාගෙන ඇති අතර, ඒවා වැළැක්වීමට අදාළ යෝජනා 19 ක් ද කමිටුව නිර්දේශ කර තිබෙනවා.
2010 වසරේ සිට මේ දක්වා දුම්රියේ ගැටී වන අලි 80 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ මේ වසරේදී බවයි වනජිවි සංඛ්‍යා දත්ත අනාවරණ කළේ.
වන අලි 15 දෙනෙකු පමණ දුම්රියට බිලිවෙමින් පසුගිය මාස කිහිපයේදී අකාලයේ මියගොස් තිබුණා.