Gossips

ඉරිදා දහම් අධ්‍යාපනයට වෙන් කිරීම අත්‍යවශ්‍ය වී ඇතැයි ජනපති කියයි

ඉරිදා දිනය දහම් අධ්‍යාපනය සදහා වෙන් කිරීම ජාතියේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය කටයුත්තක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
නීතියෙන්, චක්‍රලේඛවලින් හෝ අණ පනත්වලින් නොව එහි ඇති වැදගත්කම තේරුම්ගෙන ඇති බැවින් සියලූ පාර්ශ්ව ඒ වෙනුවෙන් වගකීම් ඉටුකළ යුතු බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 08 වන වාර්ෂික මහා සමුළුවට කොළඹදී එක්වෙමින්.
සියලූ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීම සදාචාරවත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයේ දී අත්‍යවශ්‍ය කටයුත්තක් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් අත සමාජයේ ගෞරවයට පාත්‍ර වූ පිරිසක් ලෙස සියලූ ගුරුවරුන් එම සමාජ ප්‍රශ්නය විසදාගැනීමට තම වගකීම් ඉටුකරනු ඇති බවට ද විශ්වාසය පළ කරනවා.
රටේ දරු පරපුරට එල්ල වී ඇති සමාජ අභියෝග රජයට තනිව ජය ගත නොහැකි අතර ඒ සදහා සියලූ දෙනා සාමුහික වගකීම් ඉටු කළ යුතු බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියේ.
ගුරු වෘත්තියේ ඇති ගෞරවය සහ වටිනාකම වෙනත් කිසිදු වෘත්තියකට සම කළ නොහැකි අතර ගුරුවරයාට හිමි නිසි ගෞරවය සහ වටිනාකම් තහවුරු කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් කැපවී සිටින බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී වැඩිදුරටත් කියාසිටියා.