Gossips

හිල්ටන් සහ හයට් පැවරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සාධාරණීකරණය කරයි

හිල්ටන් සහ හයට් හෝටල්වල හිමිකම් මූල්‍යමය ශක්තියක් ඇති ආයෝජකයන්ට පැවරීම සාධාරණීකරණය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ එම ව්‍යාපෘති නවීකරණය සහ ඉදිරියට පවත්වාගෙන යාමේදී රජයට බරක් නොවී ඒ සඳහා සුදුසු ආයෝජකයෙකුට පැවරීමට සිදුව ඇති බවයි.
රජයේ උපාය මාර්ගික දේපල ගණයට අයත් නොවන හිල්ටන් සහ හයට් හෝටල් ව්‍යාපෘති පවරාදීමේ තීරණය අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද්දක්වන අතර එය වාර්ෂික අය වැය කතා කිහිපයකදීද යෝජනා කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් මගින් දැනුම් දෙනවා.
මේ වන විට අඩක් පමණ ඉදිකිරීම් නිමකර ඇති හයට් හෝටලයේ වියදම් සේවක අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්රෝ ගෑස් සමාගම වැනි රාජ්‍ය ව්‍යවසායන් මගින් දරා ඇති අතර එය මුදලින් රුපියල් බිලියන 15 ක්.
එම මුදල් සඳහා හයට් හෝටල් ව්‍යාපෘතිය ජනතාවට වගවිය යුතු අතර අදාළ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා තවත් විශාල මුදලක් වියදම් කළ යුතු බැවින් දිගු කාලීන ප්‍රතිලාභ ලැබෙන මෙවැනි ව්‍යාපෘති වෙනුවෙන් මහජන මුදල් යෙදවීම නුසුදුසු බව එම නිවේදනයේ සඳහන්.
වසර 30 ක පමණ කාලයකට නවීකරණය නොවුණු හිල්ටන් හෝටලයද අලුතින් ආරම්භවන හෝටල් සමඟ ඇතිවන තරගයට මුහුණදීමට නම් රුපියල් බිලියන 4 ක පමණ මුදලක් වැය කොට නවීකරණය කළ යුතු බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ රාජ්‍ය ව්‍යවසායක් ලෙස දැනට ලාභ ලබන ආයතනයක් වුවත් හිල්ටන් හෝටලයට මෙවැනි නව ආයෝජනවල යෙදවීමට තරම් මූල්‍ය ශක්තියක් නොමැති බවයි.
ඒ අනුව නව අයෝජන ආරම්භ කර ඉදිරියට යමින් තවත් රැකියා අවස්ථා බිහිකළ හැකි මූල්‍යමය වශයෙන් ශක්තිමත් ආයෝජකයෙකුට එකී හෝටලය පවරාදීම සාධාරණ කරුණක් බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.