Gossips

සියඹලාණ්ඩුවෙන් ඇල්ලූ ලද්දු රොෂාන්ට උණ්ඩ ලැබී ඇත්තේ පොතුවිල්වලදී බවට තොරතුරු

සියඹලාණ්ඩුව – දොඹගහවෙල ප්‍රදේශයේදී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී පොලිස් භාරයට ගනු ලැබූ පතොරොම් තොගය රැගෙනවිත් ඇත්තේ අම්පාර – පොතුවිල් ප්‍රදේශයෙන් බවට අනාවරණ වී තිබෙනවා.
පසුව එය සියඹලාණ්ඩුවේ සිට ගාල්ල දක්වා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
සියඹලාණ්ඩුව – දොඹගහවෙල ප්‍රදේශයේදී පතොරොම් 2990ක් සමඟ 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස් භාරයට ගනු ලැබූ පතොරොම් අතර ටී – 56 ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ 2958ක් සහ පිස්තෝල සඳහා භාවිතා කරන මිලිමීටර් 9 වර්ගයේ පතොරොම් 32ක් ද තිබූ බවයි.
එක් සැකකරුවෙකුගේ ගමන් මල්ලේ තිබී මෙම උණ්ඩ සොයාගත් අතර ඔහු හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ලද්දු රොෂාන් නැමැත්තා බවට හඳුනාගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු වන දැනට සිර දඩුවම් නියමව ගාල්ල බන්ධනාගාරයේ රදවා සිටින ජයලත් සුද්දාගේ කොන්ත්‍රාත්තුවක් මත මෙම පතොරොම් තොගය සියඹලාණ්ඩුවේ සිට ගාල්ල ප්‍රදේශයට රැගෙන යාමටයි සැලසුම් කර තිබුණේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර, කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා ළමයින් දෙදෙනෙකු ද වන අතර, සැකකරු, විනෝද චාරිකාවක් යන මුවාවෙන් මෙම උණ්ඩ ප්‍රවාහනය කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණා.
අත්අඩංගුවට ගත් ලද්දු රොෂාන් නැමැත්තා හිටපු නාවික හමුදා සෙබලෙක්.
ඔහු දීර්ඝ කාලයක සිට බන්ධනාගාරගතව සිටින ජයලත් සුද්දා සමඟ සම්බන්ධකම් පවත්වා ඇති බවට අනාවරණ වී තිබෙනවා.