Gossips

බන්ධනාගාරයේ සිටින ජයලත් සුද්දාගේ කොන්ත්‍රාත්තුවකට උණ්ඩ ප්‍රවාහනය කළ ලද්දු රොෂාන් අත්අඩංගුවට (ඡායාරූප)

සියඹලාණ්ඩුව – දොඹගහවෙල ප්‍රදේශයේදී සජීවි පතොරොම් 2990ක් සමඟ 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස් භාරයට ගනු ලැබූ පතොරොම් අතර ටී – 56 ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ 2958ක් සහ පිස්තෝල සඳහා භාවිතා කරන මිලිමීටර් 9 වර්ගයේ පතොරොම් 32ක් ද තිබූ බවයි.
වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයේ ගමන් ගත් එක් සැකකරුවෙකුගේ ගමන් මල්ලේ තිබී මෙම උණ්ඩ සොයාගෙන ඇති අතර, ඔහු හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ලද්දු රොෂාන් නැමැත්තා බවට හඳුනාගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු වන දැනට සිර දඬුවම් නියමව ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ජයලත් සුද්දාගේ කොන්ත්‍රාත්තුවක් මත මෙම පතොරොම් තොගය සියඹලාණ්ඩුවේ සිට ගාල්ල ප්‍රදේශයට රැගෙන යමින් සිටි බවයි සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර, කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා ළමයින් දෙදෙනෙකු ද වන අතර, සැකකරු, විනෝද චාරිකාවක් යන මුවාවෙන් මෙම උණ්ඩ ප්‍රවාහනය කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළ පොලිස්පතිවරයාගේ නියමයෙන් දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් 13කින් වරෙන්තුකරුවන් 12,099ක් ඇතුළු සැකකරුවන් 36,255 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් සිද්ධීන් 64,143ක් වාර්තා වී ඇති බවයි.
අද (21) අලුයම 3 සිට පෙරවරු 7 දක්වා දිවයින පුරා පොලිස් නිලධාරීන් 18,019කගේ සහභාගීත්වයෙන් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 3560 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 1124ක්, මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 992ක් සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 920ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ඊට අමතරව බීමත් පුද්ගලයින් 468 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබා ගැනීම් සහ ජීව අත්බෝම්බ ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 3 දෙනෙකු ද මෙම පිරිසට ඇතුළත්.
අදාළ කාලය තුළ රථ වාහන නඩු 6020ක් ද ගොනු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.


ඡායාරූප – වැල්ලවාය, ජයන්ත