Gossips

මෙරට ඉන්දීය ව්‍යාපෘති පමා වීම ගැන, මෝදි කණස්සල්ලෙන්

2017 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු – ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දැඩි පමාවක් දක්නට ලැබීම තමාගේ කණස්සල්ලට හේතු වී ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රකාශ කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවේදී මේ පිළිබද පුළුල් වශයෙන් සාකච්ඡා වූ බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික කරුණු සම්බන්ධයෙන් තමා වැඩිම කාලයක් කැප කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවයි.
එහෙත් ඉන්දියාව සිදුකරන සද්කාර්යයන්ට ලක් රජයෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳව කණගාටු වන බව ඔහු පැවසී යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටළුවක් ඇත්නම් නොපැකිලව සාකච්ඡා කරන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඉල්ලා තිබෙනවා.
මේ අතර, ඉන්දු – ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම වේගවත් කරලීමට සහ ඵෙතිහාසික සබඳතා ශක්තිමත් කරලීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පැවති සාකච්ඡාවලදී එකඟත්වය පළ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
තුන් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමු වූයේ ඊයේ දිනයේදීයි.
කලාපීය සහ ගෝලීය කරුණු පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇති අතර, ඉන්දු – ශ්‍රී ලංකා ඉහලපෙලේ සාකච්ඡාවලදී එළැඹුණු තීරණ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය ඇගයීමටද අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා එකඟ වූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
කෙසේ නමුත්, ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියා සිටියේ ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘති සියල්ල පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි.
විශේෂයෙන් උතුරේ නිවාස ව්‍යාපෘතියක් චීනයෙන් ඉවත් කොට ඉන්දියාවට ලබාදීම පිළිබඳව මෙන්ම පලාලි ගුවන් තොටුපල සහ කන්කසන්තුරේ වරාය සංවර්ධනය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.
එමෙන්ම, කොළඹ වරායේ බහාළුම් අංගනයක් ඉන්දියාවේ සහයෙන් සංවර්ධනය කිරීම සහ මත්තල ගුවන් තොටුපල බදු ක්‍රමයට ඉන්දියාවට ලබාදීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කළ බව එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්වීටර් ගිණුමට එක් කළ පණිවුඩයක දැක්වුණේ ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගීතාවට අදාළ විවිධ අංශයන් ඇගයීමට ලක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි.