Gossips

නිසාම්ඩීන් ත්‍රස්ත උගුලක ඇටවූ අය ගැන ඉඟියක්

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක මොහොමඩ් කේමර් නිසාම්ඩීන් ත්‍රස්ත සැකකරුවෙකු බවට පත් කළේ ප්‍රකට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුගේ සොහොයුරෙකු බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
අයි.එස්. අනුගාමිකයෙකු ලෙස ඕස්ට්‍රේලියානු නායකයන් ඝාතනය කිරීමටත්, සිඩ්නි නුවර මර්මස්ථානවලට ත්‍රස්ත්‍ර ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බවටත් චෝදනා කරමින් අත්අඩංගුවට ගත් නිසාම්ඩීන් මසකට අධික කාලයක් අධි ආරක්ෂිත බන්ධනාගාරයක රදවා සිටියා.
එහෙත් ප්‍රහාරයක සැලසුම් බවට සඳහන් කෙරුණු සටහන් නිසාම්ඩීන්ගේ අත් අකුරු නොවන බව හෙළිදරව් වූ පසු ඔහුට ඇප ලබාදුන් අතර, පසුව ඔහුට එරෙහි ත්‍රස්ත චෝදනා ද ඉවත් කර ගැනුණා.
ඕස්ට්‍රේලියානු පොලීසිය සඳහන් කළේ නිසාම්ඩීන් නිර්දෝෂී වුවද ඒ පිළිබද පරීක්ෂණ අවසන් නොවන බවයි.
ඒ අනුව ඔහුගේ සටහන් පොතේ අදාළ සටහන් තැබූ පුද්ගලයා සොයා පරීක්ෂණ සිදුකෙරෙන බව නිව් සවුත් වේල්ස් පොලීසිය කියා සිටියා.
කෙසේ නමුත් අදාළ ක්‍රීඩකයා හෝ ක්‍රීඩාව කුමක් ද යන්න මෙතෙක් අනාවරණ කර නැහැ.
මොහොමඩ් නිසාම්ඩීන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඕස්ට්‍රේලියානු පොලීසියෙන් වන්දි ඉල්ලා නඩු පවරන බව ඔහුගේ නීතිඥයන් ඊයේ ප්‍රකාශ කළා.