Gossips

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුව යළි 9 වන දා

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීමේ නඩුවට අදාළ ඇතැම් ලේඛන මෙතෙක් ලැබී නොමැති බව විත්ති පාර්ශවයේ නීතිඥයින් අද ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දුන්නා.
නීතිපතිවරයා පැවරූ මෙම නඩුවට හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 7 දෙනෙකුට චෝදනා එල්ල වී ඇති අතර, පැමිණිල්ල විසින් විත්තියට ලබාදිය යුතු ලේඛණ නිසියාකාරව ලබාදී ඇත්දැයි පරීක්ෂා කිරීම සදහායී අද නඩුව කැඳවනු ලැබුවේ.
එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් කියා සිටියේ විත්ති පාර්ශවය ඉල්ලා සිටින ලේඛන රැසක් මේ වනවිට ලබාදී අවසන් බවයි.
එහෙත් ඉල්ලා සිටි ඇතැම් ලේඛණ මෙතෙක් ලැබී නොමැති බව එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළා.
නඩුව කඩිනමින් විභාග කිරීම විත්ති පාර්ශවයේ අරමුණ වූවත්, අදාළ ලේඛණ ලබා නොදීමෙන් නඩුව ප්‍රමාද කරන්නේ පැමිණිලිකාර පාර්ශවය බවටයි ඔහු එහිදී ප්‍රකාශ කළේ.
එමෙන්ම, ලේඛණ ඉල්ලා සිටින්නේ මෙම නඩුවට කිසිදු නීතිමය පදනමක් නොමැති නිසා බවද නීතිඥවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ විත්තිය අවශ්‍ය සහ අනවශ්‍ය ලේඛණ ඉල්ලා සිටීම තුළින් යම් ප්‍රමාදයක් සිදුවිය හැකි වූවත්, නඩුව කඩිනමින් අවසන් කිරීම පැමිණිල්ලේ ද අරමුණ බවයි.
එමෙන්ම, විත්තිය ඉල්ලා සිටින ලේඛන අවශ්‍යතාවය අනුව ලබාදීමට සූදානම් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් එහිදී සඳහන් කර තිබෙනවා.
ඒ අනුව අදාළ ලේඛණ නිසි පරිදි ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා මෙම නඩුව යළි ලබන මස 9 වනදා කැදවීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.
මෙම නඩුව ලබන දෙසැම්බර් 4 වනදා සිට අඛන්ඩව විභාගයට ගැනීමට නියමිතයි.