Gossips

ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප්‍රකාශ වන තුරු, ජාතික ආණ්ඩුව අඛණ්ඩව

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් සිදුකළ විමසීමට අනුව එහි මතය ප්‍රකාශ කෙරෙන තුරු ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ජාතික රජයෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා සමඟ ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී මන්ත්‍රී කණ්ඩායම ඉල්ලා ඇති බව සඳහන්.
කෙසේ නමුත්, ජනාධිපතිවරයා ඒ සඳහා පවතින ව්‍යවස්ථාමය ඉඩකඩ පිළිබදව නීතිපතිවරයාගෙන් විමසීමක් කර ඇති අතර, ඔහු සඳහන් කර ඇත්තේ ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතු බවයි.
එමෙන්ම, එක් කණ්ඩායමක් ලෙස සිටිමින් ජනාධිපතිවරයා වෙත අඛණ්ඩව සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද ඒකමතිකව තීරණය කළා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි.
පැය දෙකකට අධික කාලයක් පැවැත්වූ මෙම සාකච්ඡාවට මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා, අනුර ප්‍රියදර්ශන යාපා යන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ඇතුළු නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ සාකච්ඡාව ආරම්භයේම සුසන්ත පුංචිනිලමේ නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් විපක්ෂයේ අසුන් ගැනීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විසින් පවතින වාතාවරණය පිළිබදව ඉදිරියේදී නිරීක්ෂණය කර මසක් තුළ සියල්ල එක්ව අවසන් තීන්දුවක් ගත යුතු බව ප්‍රකාශ කර තිබෙනවා.
මීට අමතරව ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සඳහා විකල්ප කිහිපයක් ද මෙහිදී යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂ නව අග්‍රාමාත්‍යවරයෙකු යටතේ ආණ්ඩුව ඉදිරියට ගෙන යාම හෝ නිදහස් සන්ධාන අග්‍රාමාත්‍යවරයෙකු යටතේ ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම එම යෝජනා අතර වනවා.