මහින්ද පිල අගමැති සිහිනය අතහරියි – විපක්ෂ නායක ධුරය ඉල්ලයි
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී “මහින්ද අගමැති කරවන මැතිවරණය” ලෙස විශාල ප්‍රචාරයක් ගෙනයමින් මැතිවරණයට අවතීර්ණ වූ මහින්ද පිල අද (19) ප්‍රකාශ කර සිටියේ තමන් විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටින බවයි.
ඊයේ (18) දින මාධ්‍ය අමතමින් දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියේ අද දින පාර්ලිමේන්තුවේදී 113ක් සමග බහුතරය පෙන්වා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු බලය ගන්නා බවය.
කෙසේ නමුත් අද දින විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වෙත යන අතරතුරදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර තිබෙන්නේ තමන් ඉල්ලන්නේ අගමැති ධුරය නොව විපක්ෂ නායක ධුරය බවයි.
එමෙන්ම මහින්ද පිලේ මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංස යන මන්ත්‍රීවරුන්ද අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය නොව විපක්ෂ නායක ධුරය ලබාදිය යුතු බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට වූ ප්‍රවෘත්තියක් පළාත් පාලන මැතිවරණය අවසන් වූ ආසන්න දින කිහිපය තුළ පැතිර ගිය අතර ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අමතා තිබූ විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කිසිම හේතුවකට අගමැති ධුරයෙන් ඉවත් නොවන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලා තිබිණි.
මේ සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා මාධය හමුවේ ප්‍රකාශ කර තිබූ අතර විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට දුරකථන ඇමතුමක් ලබාදුන් බව රනිල් වික්‍රමසිංහ මහතාද සඳහන් කර ඇත.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහින්ද පිලේ මැතිවරණ ප්රචාරක කටයුතුවලදී කේන්ද්‍රීය සටන්පාඨය බවට පත්ව තිබුනේද පළාත් පාලන මැතිවරණයෙන් පසු විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමය.