Gossips

අරාබියේ අල්කයිඩා නායකයාට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 10 ක ලන්සුවක්

අරාබි අර්ධද්වීපයේ අල්කයිඩා නායකයා වෙනුවෙන් ඇමරිකාව ඉදිරිපත් කර ඇති ලන්සුව දෙගුණ කර තිබෙනවා.
ඒ අනුව, සෞදි අරාබියේ ඉපිද යේමනය ඇතුලු අරාබි අර්ධද්වීපයේ ත්‍රස්ත මෙහෙයුම් සිදුකරන කාසිම් අල් රිමී අත්අඩංගුවට ගැනීමට ඉවහල් වන තොරතුරක් ලබාදෙන අයෙකුට හිමිවන ත්‍යාග මුදල ඩොලර් මිලියන 10 ක්.
අල්රිමී 2005 වසරේ යේමනයේ ඇමරිකානු තානාපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට වරදකරු වූ අතර, 2006 වසරේදී ඔහු බන්ධනාගාරයෙන් පැන ගියා.
2008 වසරේ යේමනයේ සානා නුවර ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැලකෙන්නේ ද ඔහුයි.
එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මේ අතර, දකුණු දිග ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා වන ජෙනරාල් අබ්දුල් රසීක් සිය ආරක්ෂකයාගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.
ඇෆ්ගනිස්ථානයේ මහ මැතිවරණය හෙට පැවැත්වෙන අතර ඊට පෙර ඊයේ පැවති ආරක්ෂක සම්බන්ධීකරණ රැස්වීමකට පෙරයි ඔහු මෙලෙස වෙඩි පහරට ගොදුරු වූයේ.
මෙම ප්‍රහාරයේදී එම ස්ථානයේ සිටි ඇමරිකානු හමුදා අණදෙන නිලධාරි ජෙනරාල් ස්කොට් මිලර් දිවි ගලවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබූ ආරක්ෂකයා තලෙයිබාන් අනුගාමිකයෙකු බව පසුව අනාවරණ වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇෆ්ගන් – තලෙයිබාන් සංවිධානය වගකීම භාරගෙන තිබෙනවා.