Gossips

කශෝගිගේ සිරුර සොයා තුර්කි පොලීිසිය වනය පීරයි

සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ අතුරුදන්වීම පිලිබද පරීක්ෂණ පවත්වන තුර්කි පොලීසිය සිය මෙහෙයුම් පුළුල් කර තිබෙනවා.
ඒ අනුව, සෞදි කොන්සල් කාර්යාලය නුදුරෙන් වූ වන පෙදෙසේ ද මෙහෙයුම් සිදුකෙරෙන්නේ එහි ඔහුගේ සිරුරු කොටස් සගවා ඇත්දැයි සොයා බැලීමටයි.
පසුගිය ඔක්තෝම්බර් දෙවනදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වූ ජමාල් කශෝගි එය තුළදී සෞදි කණ්ඩායමක් විසින් ඝාතනය කරන්නට ඇති බව තුර්කියේ අදහසයි.
ඒ සදහා ශ්‍රව්‍ය, දෘෂ්‍ය සාක්ෂි පවතින බව එරට රජය ප්‍රකාශ කළා.
තුර්කි බලධාරින් සෞදි කොන්සල් කාර්යාලය සහ ඊට මීටර් 200 ක් ඈතින් වූ කොන්සල්වරයාගේ නිවහන ද දැඩි පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
තමාගේ දැඩි විවේචකයෙකු වූ කශෝගි ඝාතනය කළ බව සෞදියේ බින්සල්මාන් කුමරු ප්‍රතික්ෂේප කළ ද ඔහු මුණ ගැසීමෙන් පසුව පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ ඒ පිළිබද ඉගියක් කළා.
ජනපති ට්‍රම්ප්ට ඊයේ කියා සිටියේ කශෝගි ඝාතනයට ලක්වී ඇති බව සිතිය හැකි බවයි.
කෙසේ නමුත්, ඒ පිළිබද පරීක්ෂණ නිමකොට පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම සඳහා සෞදි අරාබියට තවත් දින කිහිපයක් අවශ්‍ය බව ඔහු කියා සිටියා.
මේ අතර, ඉන්ධන මත යැපුණු සෞදි ආර්ථිකය 2030 වනවිට නවීකරණය කිරීම සදහා බින් සල්මාන් කුමරුගේ මෙහෙයවීමෙන් රියාද් නුවර පැවැත්වීමට සැලසුම් කර ඇති ආයෝජන සමුළුවෙන් ඉවත් වන බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මුචින් ද ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර වෙළදාම පිලිබද බ්‍රිතාන්‍ය ලේකම් ලියම් ෆොක්ස් ද ඉන් ඉවත් වන බව නිවේදනය කර තිබෙනවා. ප්‍රංශ සහ නෙදර්ලන්ත මුදල් අමාත්‍යවරුන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඞ් ද සමුළුවෙන් ඉවත් වන බව ප්‍රකාශ කළ අතර, ප්‍රධාන පෙලේ සමාගම් රැසක් ද දැනටමත් ඉන් ඉවත්වී ඇති බව සදහන්.