Gossips

රාඩා නඩුවේ විත්තිකරුවන් අධිකරණයට

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහට එරෙහිව චෝදනා කෙටුම්පතක්, රාඩා නඩුවේ විත්තිකාර පාර්ශවය අද අධිකරණයට ඉදිරිපත් කළා.
ඒ නඩු විභාගයේ දිවුරුම් පිට අසත්‍ය සාක්ෂි ලබාදී අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින්.
උතුරු නැගෙනහිර නිවාස ව්‍යාපෘතියකදී රාඩා ආයතනය මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට වන නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ඉදිරියේ යළි කැදවනු ලැබුවා.
එහිදී සාක්ෂි ලබාදීම සදහා ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවකට සිතාසි යොමුකර තිබුණත්, අමාත්‍යවරයා අදත් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
ඒ ජාත්‍යන්තර සමුළුවක් සදහා විදේශ ගත වූ බව සදහන් කරමින්.
ඒ සම්බන්ධයෙන් මීට පෙර නොදැන්වීම පිළිබදව සිය අප්‍රසාදය පළ කරමින් විනිසුරුවරයා සදහන් කළේ අමාත්‍යවරයාගේ රාජකාරි වලට ගරු කළත්, අධිකරණයේ වැඩ කටයුතු ද සිදුවිය යුතු බවයි.
අනතුරුව අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් දයානන්ද පෙරේරාගෙන් පැමිණිල්ල හරස් ප්‍රශ්න විමසුවා.
එහිදී විත්තියෙන් විරෝධය පළ වූයේ ඡායා පිටපතක් සාක්ෂිකරුට ඉදිරිපත් කිරීමත් සමගයි.
ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි එහිදී ප්‍රකාශ කළේ මෙම සිද්ධියම කුරුණෑගලදී සිදුවූ බවයි.
සාක්ෂිකරු සතුව මුල් ලේඛණයේ පවතින අවස්ථාවක ඡායා පිටපත් ඇසුරෙන් ප්‍රශ්න ඇසීමට ඉඩ ලබාදිය නොහැකි බව ඔහු එහිදී කියා සිටියා.
එසේම, ජනාධිපති නීතීඥ ශානක ද සිල්වා සදහන් කළේ එම ඡායා පිටපත කුමන ආකාරයට සකසා ඇත්දැයි සැකයක් පවතින බවයි.
නඩුවේ ඇතැම් ලේඛණවල මුල් පිටපත් නොමැති බව පිළිගන්නා බව, ඊට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියා.
සෑම නඩුවකම චූදිතයින් සූක්ෂ්ම ලෙස සාක්ෂි විනාශ කරන බව සදහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියේ සුළු නීතිමය කරුණක් මතුවූ වහාම චූදිතයින් නිවැරදිකරුවන් ලෙස ප්‍රකාශ කිරීම වැරදි බවයි.
එය නිවැරදි බව සදහන් කළ විනිසුරුවරයා අවවාද කළේ, විරෝධතාවලදී හැකිතාක් නීතිමය කරුණුවලට පමණක් සීමා වන ලෙසයි.
සාක්ෂිකරු අදාළ ඡායාපිටපත සිය මුල් ලේඛණය සමග සැසෙදන බවට හදුනා ගත් අතර වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 11 වනදාට කල් තැබුණා.
මෙහිදී නිතීඥ නලින් ලද්දුවහෙට්ටි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදී අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් චෝදනා කෙටුම්පතක් ඉදිරිපත් කළා.