Gossips

TNA පිරිසක් ජනපති හමුවෙයි

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් අද පස්වරුවේ සිදුවුණා.
ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමෙන් අනතුරුවයි.
උතුර – නැගෙනහිර පළාත්වල ඉඩම් ගැටළුව මෙන්ම දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ද එහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියා.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ ඉහළ පෙළේ නායකයින් මෙම සාකච්ඡාව සඳහා එක්ව තිබෙනවා.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව ඉදිරියේදී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බවයි සාකච්ඡාවෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් කියා සිටියේ.
මේ අතර වතු කම්කරුවන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සොයා බලන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදෙන බවට ජනාධිපතිවරයා එකඟ වූ බව දමිල ප්‍රගතිශීලී සන්ධානය පවසනවා.
අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යැයි එම සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
වතු කම්කරුවන්ගේ අවම මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවිය යුතු බව ඔවුන් එහිදී පෙන්වා දී තිබෙනවා.
මීට අමතරව පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වූ බව අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියා.