Gossips

වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා වතුකරයේ උද්ඝෝෂණ (ඡායාරූප)

තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන්නැයි ඉල්ලා වතුකරයේ ස්ථාන කිහිපයක අද උද්ඝෝෂණ පැවැත්වුනා.
හැටන් – නෝටන්බ්‍රිජ් මාර්ගයේ ලෙදන්ටි මංසන්ධියේ, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රොසැල්ල සහ වටවල කැරොලයිනා ප්‍රදේශවල මෙලෙස උද්ඝෝෂණ පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
කළු කොඩි ඔසවමින් වතු සමාගම් හිමිකරුවන්ගේ අනුරූ පුලුස්සමින් කම්කරුවන් විරෝධතාවයේ නිරතවු බව සඳහන්.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීයස මිති අතර පසුගියදා පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වුනා.
වතු කම්කරුවන්ට දිනකට ගෙවන මුලික වැටුප රුපියල් 530 සිට රුපියල් 600 දක්වා වැඩිකර සියලුම දීමනා සමග වතු කම්කරුරෙවකුගේ දිනක වැටුප රුපියල් 940 දක්වා වැඩි කිරීමට අවසන් වරට පැවති සාකච්ඡාවලදී යෝජනා වී තිබුනා.
කෙසේවෙතත් වතු වෘත්තීය සමිති අවධාරණය කර ඇත්තේ වතු කම්කරුවෙකුගේ මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කළ යුතු අතර එසේ නොකළ හොත් වතුකරය පුරා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.
කෙසේවෙතත් කම්කරුවන් ඉල්ලන ආකාරයෙන් වැටුප් වැඩිකළ හොත් වතු සමාගම් කඩා වැටීමකට ලක්වන බව වතු සමාගම් හිමිකරුවන් පෙන්වා දී තිබෙනවා.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ