Gossips

හඩපට ගැන නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ විමසිල්ලෙන් බව සිංහලේ ජාතික සංවිධානය කියයි

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අතර සිදුවූ දුරකථන සංවාද පිළිබඳව නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි විමසිල්ලෙන් බලා සිටින බව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් පවසනවා.
මේ අතර ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද කැඳවා තිබූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පැමිණීමට නොහැකි බවට දැනුම්දී තිබුණා.
තම දරුවා අසනීප තත්ත්වයේ පසුවන බැවින් මෙලෙස පැමිණීමට හැකියාවක් නොමැති බවයි ඔහු දැනුම්දී ඇත්තේ.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සහ පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබාදී තිබූ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි ගැන මෙහිදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් එම ප්‍රකාශය ලබාගැනීම සඳහා ඔහුට වෙනත් දිනයක් ලබාදීමට කටයුතු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 5 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා.
කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ නාමල් කුමාර අතර ඇතිවූ දුරකථන සංවාද සම්බන්ධයෙන් දැනට අනාවරණය වී ඇති තොරතුරු හරහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශ කටයුතු කළ යුතු බවටයි සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් අවධාරණය කළේ.