Gossips

කොළඹ කුණුවලට එරෙහිව අදත් පුත්තලමේ විරෝධතා

කසල බැහැර කිරීම සඳහා පුත්තලම – අරුවක්කාලූ ප්‍රදේශයේ ඉදිකෙරෙන කසල අංගනයට විරෝධය පළ කරමින් අදත් පුත්තලම නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා.
ඒ, පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානයේ නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන්.
එමෙන්ම කොළඹ කසල පුත්තලමට ගෙන ඒමට එරෙහිව දින 17ක කාලයක් මුළුල්ලේ පුත්තලම නගර මධ්‍යයේ සත්‍යග්‍රහයක් පැවැත්වෙන අතර, ඊට සහය පළ කිරීම සඳහා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහලේකම් මෛත්‍රී ගුණරත්න අද එක්වුණා.
මේ අතර, අරුවක්කාලූ සනීපාරක්ෂක කසල රදවනය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
ඊට එක්වෙමින් එම අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ කියා සිටියේ මෙම කසල රදවනය පරිසරයට මෙන්ම ජනතාවට හානියක් නොවන ආකාරයෙන් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවයි.