Gossips

නාමල්, නාලක දුරකථන සංවාද ජාත්‍යන්තරයට

දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අතර පැවැත්වූ දුරකථන සංවාදවල, අපැහැදිලි සහ විනාශවූ කොටස් විදේශීය සමාගමකට යොමු කිරීමට තීරණය කර තිබෙනවා.
පසුගියදා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් අතර පැවති සාකච්ඡාවකදියි මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙම දුරකථන සංවාදවල ඇතැම් අපහැදැළි හඬ පට පරීක්ෂා කිරීමට මෙරට තාක්ෂණය භාවිත කළ හැකි නමුත් එය ප්‍රමාණවත් නොමැති බවයි මෙහිදී රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුම්දී ඇත්තේ.
ඒ අනුව එම දුරකථන සංවාද පරීක්ෂා කිරීම සඳහා යොමුකරන විදේශීය සමාගම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, අධිකරණ නියෝගයක් අනුව එය යොමු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම හඬ පට මාධ්‍ය වෙත මුදාහරිනු ලැබුවේ පසුගිය මස 12 වනදායි.
ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුවා.
නාමල් කුමාරගේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ කට හඬ සාම්පල පසුගියදා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කළ වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී අනාවරණ වූයේ එම කට හඬ සාම්පල මොවුන් දෙදෙනාගේ බවටයි.
මේ අතර, දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර, අද (15) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යළි පැමිණීමට නියමිතයි.
ඒ, තමන් සතුව ඇති තවත් හඬ පට කිහිපයක් භාරදීම සඳහායි.