Gossips

භාණ්ඩ ආනයනයේ්දී ඩොලර් නිකුත් කිරීමේ තහනමක්

රුපියල අවප්‍රමාණයවීම පාලනය කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය ශ්‍රී ලංකා මහබැංකුව පාලනය කර තිබෙනවා.
ඒ අනුව රූපවාහිනී, ශීතකරණ, වායුසමීකරණ, රෙදිසෝදන යන්ත්‍ර, සුවඳ විලවුන් සහ පාවහන් ඇතුළු භාණ්ඩ ලැයිස්තුවක් ආනයනය පාලනය කිරීමටයි මහබැංකුව තීරණය කර ඇත්තේ.
වාණිජ බැංකු හා බලය ලත් මූල්‍ය ආයතන වෙත මහබැංකුව දැනුම් දී ඇත්තේ එම භාණ්ඩ ආනයනය සඳහා රුපියල් ඇමරිකානු ඩොලරය ඇතුළු විදේශ මුදල්වලට මාරු කිරීම තහනම් කිරීමටයි.
දැනට වාර්ෂිකව ඩොලර් බිලියන 22ක් වැය කර මෙරටට භාණ්ඩ ආනයනය කරනවා.
මේ වන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 172.93ක් ලෙසයි.
ශ්‍රී ලංකා මහබැංකුව ගෙන ඇති මෙම තීරණයත් සමඟ සුළු හා මධ්‍ය පරිමාණ ආනයනික ව්‍යාපාරිකයින් අපහසුතාවට පත්වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
එමෙන්ම මෙම තීරණයත් සමඟ ඉදිරියේදී වෙළදපොළේ මෙම භාණ්ඩ හිඟයක් ඇති විය හැකි බවටයි ඔවුන් සඳහන් කළේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ රජය විසින් මීට පෙර අදාළ තීන්දුව ගත යුතුව තිබූ බවයි.